Showing posts with label ජීවිතයට යමක්. Show all posts
Showing posts with label ජීවිතයට යමක්. Show all posts

2011-06-10

මටත් නංගියෙක් හිටියනම්…….

 

donnablog-0003

පොඩි කාලෙට වඩා දැන් මට දැනෙන දෙයක් ගැන පුංචි පොස්ට් එකක් ලියන්න හිතුන.පොඩි කාලේ ඉඳන්ම ජීවිතේ දැනුන හිස් කමක්.ගෙයක් ලස්සන වෙන්න සිරියාවන්ත කෙලි පොඩ්ඩක් ඉන්නම ඕනෙලුනේ.ඉතින් මට හිතෙන විදියට අපේ ගෙදර ඒ සිරියාව නෑ.රණ්ඩු වෙන්නවත්, යාලු වෙන්නවත් මට නංගියෙක් නෑ.මේ ඒ ගැන මට හිතෙන දේ ගැන ලියන්න ගත්තු පුංචි උත්සාහයක්….

ඇත්තටම මටත් පුංචි නංගියෙක් හිටියනම්,

අයිය ඉස්කෝලේ ගිහින් ගෙදර එනකල් දොර ලඟට වෙලා බලන් ඉඳියි එයාට තව ඉස්කෝලේ යන්න කල් තියන හින්ද.අයියත් ඉතින් ඉස්කෝලෙන් මොනවා හරි අරගෙන එයි නංගියට..කොහොම හරි අයියගේ ඉස්කෝලේ පොත් ටිකත් අරගෙන මොනවා හරි කුරුටු ගාල බැනුම් අහගනියි අම්මගෙන්..එහෙම උනොත් අයිය අරගන්නේ ඔයාගේ පැත්ත මගෙ චූටි නංගි පැටියෝ.

කාලයක් යද්දී ඔයත් ඉස්කෝලේ යන්න පටන් ගනියි.ලස්සන සුදු ගවුම් පොඩ්ඩත් ඇඳගෙන අයිය පිට කවර දාල, නම් ලියල දුන්න පොත් ටිකත් බෑග් එකට දාගෙන අයිය එක්කම ඉස්කෝලේ යන්න මගෙ නංගියත් එයි.හවසට ගෙදර ආවම අයියේ… මේක කියා දෙන්නකෝ කියල කිව්වම අපෝ මේ කෙල්ලගෙන් තියන කරදරේ කියලත් කියයි අයිය.ඒත් හැම දෙයක්ම කියා දෙයි..තාම අයියත් පුන්චියිනේ.කොහෙන් හරි හොයාගත්තු අඹ ගෙඩියක්,පේර ගෙඩියක් උස්සන් එයි අයියේ අපි මේක කමු කියල.අඹ කපන්න ගිහින් අයිය අත කපාගත්තම ඉක්මනට දුවගෙන ගිහින් අම්මට කියයි පුංචි ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.ඉස්කෝලෙන් ට්‍රිප් එකක් එක්ක ගියොත් අයියවත් මතක් වෙයි නංගියට.එහෙම වෙලාවට අයියටත් බූන්දි සීයක් හරි අරගෙන එයි ඔයා.කොයි තරම් වෙලාවක් හරි ඔයා එනකල් ඉස්කෝලේ ලඟට වෙලා අයිය බලාගෙන ඉඳියි.

කාලෙත් එක්ක අයිය වගේම ඔයත් ටිකෙන් ටික ලොකු වෙයි.දැන් අයියට ඉන්නේ ලස්සනම ලස්සන නංගි කෙනෙක්.ඒත් අම්ම බය වෙන එකක් නෑ.හොඳ අයියෙක් ඉන්නවනේ නංගව පරිස්සම් කරගන්න.වෙසක් එකට ගමේ යාළුවො ටිකත් එක්ක රවුම් ගහල අයිය ආවම නංගියාට දුක හිතෙයි.ඒ වෙලාවට අම්ම බැන්නම ඔයාවත් එක්කගෙන තොරණක් පෙන්නන්න හරි අයිය යයි.අයිය වෙසක් කුඩු හැදුවට අලවන්න කම්මැලිය.පුංචි අත් දෙකෙන් ලස්සනට රටා දාල වෙසක් කුඩු ටිකත් නංගිය හදල දෙයි..කොහේ ගියත් මේ මගෙ නංගි කියල ආඩම්බරෙන් කතා කරන්න අයියට පුළුවන් වෙයි..අයිය පිස්සු නැටුවට නංගිය හොඳට ඉගෙන ගනියි.ඕන කරන හැම දෙයක්ම අයිය ඔයා ලගට ගෙනත් දෙයි.

ජීවිතේ මුහුණ දෙන්න වුනු ගොඩක් ප්‍රශ්න එක්ක මට ඔයා හිටියනම් පාළුවක් දැනෙන එකක් නෑ නංගි.අම්මට කියන්නේ නෑ කියල පොරොන්දු කරගෙන ඔයා එක්ක ඕනෙම ප්‍රශ්නයක් මට කියන්න තිබුන ඔයා එක්ක.අයිය අසරණ උන වෙලාවට අයිය වෙනුවෙන් කතා කරන්න ඔයා ඉදියි.මොන දුකක් ආවත් ඔය පුංචි අත් දෙකෙන් අල්ලාගෙන හිතේ තියන දුක කියද්දී ඔයා අහගෙන ඉඳියි..බය වෙන්න එපා අයියේ, හැම දෙයක්ම හොඳින් විසදෙයි.. ඔයා එහෙම කියයි මගෙ නංගි..

කොහොමත් අම්මගේ හෙවනැල්ල වගේ ඔයා ඉඳියි.අයිය ගෙදර නැති පාළුව අම්මට දැනෙන එකක් නෑ,දැවටී දැවටී ලගට වෙලා ඉන්න හුරතල් කෙල්ල ඉන්න නිසා.අයියේ,ගෙදර එන්න රෑ වෙනවද?මෙන්න අම්ම බය වෙලා.ඉක්මනට ගෙදර එන්න හොඳද…ඔයා එහෙම කියයි.ඒ වචනෙට පිටු පාන්න අයියට කවදාවත් බැරි වෙයි.අයියට හදිස්සියකට කීයක්‌ හරි ඕන උන වෙලාවක ඉල්ලුවොත් පොතක් අස්සෙන් හරි හොයල තියන ගානක් දෙයි.ඒත් කවදාවත් ආයේ ඒවා ඉල්ලන එකක් නෑ ඔයා.

අයියත් කාලයක් යද්දී ආදරේ කරන්න කෙනෙක් හොයාගනියි.එදාට මගෙ නංගිට ටිකක් දුක හිතෙයි.නෑ නංගි… ඔය මොන කෙල්ලටත් වඩා මං ඔයාට ආදරේ කරයි..කාලයක් යද්දී ඔයත් ජීවිතේට කාව හරි හොයාගනියි.අන්න එදාට අයිය ගොඩක් කලබල වෙයි.හොයන්න ගනියි…අර සඳරු වගේ වලි දාගන්නත් වෙයි නංගියව බේරගන්න.අම්මට අසනීපයක්‌ උන වෙලාවකට අපිට බඩගින්නේ ඉන්න වෙන එකක් නෑ.මොනවා හරි රසට හදල දෙයි.එහෙම හදන කිසිම දේක රහක් ගුනක්‌ අයිය හොයන එකක් නෑ…

කවද හරි ලස්සන මනමාලියෙක් වෙලා ඔයා අපේ ගෙදරින් යන දවසකුත් එයි..එදාට ඔයාටත් වඩා ඔයාගේ අයිය දුක් වෙයි නංගි.මනමාලය ඔයාව මෙච්චර කල් බලාගත්තට මට රත්තරන් මුද්දකුත් දෙයි එදාට.ඒ මුද්දට වඩා මට ඔයාව ගොඩක් වටිනව කියන්න මට බැරි වෙයි නංගි.

නංගිලා ඉන්න හැම අයියෙක්ම ලෝකෙට පෙන්නුවේ නැතත් මේ වගේම එයාලගේ නංගිලට ආදරෙයි.මට එහෙම ආදරේ කරන්න නංගියෙක් ලැබුනේ නෑ.දුකා අයිය, සඳරු, උඹල ගොඩක් වාසනාවන්තයි.උඹලගේ ජීවිත කවදාවත් හිස් නෑ.. ඔය ලින්ක් දෙකට ගිහින් කියවල බලන්න එයාල නංගිලා ගැන ලියල තියන ඒවා.මීට වඩා මට හිතින් ඔයා එක්ක තනි වෙන්න බෑ නංගි..දැන් මේක ලියල ඉවරයි.තව ටිකකින් ඔයා සිංහල බ්ලොග් අවකාශෙට ඉගිලෙනවා..පරිස්සමින් මගෙ නංගි….

childhood

පසුවදන :
මේ පුංචි සිතුවිල්ල මගෙ හිතට පහල වෙන්නේ මගෙ ඇස් දෙකින්ම දකින්න ලැබෙන පුංචි සිද්ධියක් මුලික කරගෙන.හැමදාම උදේට බයිසිකලෙන් වැඩට යද්දී පුංචි පැටවු දෙන්නෙක් හැමදාම මට හම්බ වෙනවා. අයියයි නංගියි.. අයිය 5 වසරේ වගේ.. චූටි නංගියනම් 3 වසරේ වගේ.දෙන්නම හැමදාම එකම වෙලාවට පාර දිගේ එනවා.නංගියාවත් අයින් කරගෙන අයිය තමයි එක්කගෙන එන්නේ.මං දැකපු විදියට මේ දෙන්නට කිලෝමීටර් 2 ක් විතර පයින් යන්න තියනවා එයාලගේ ඉස්කෝලෙට..පුංචි කෙල්ල ළඟ ළඟ අඩිය තිය තියා යද්දී අයියට වේගෙන් යන්නත් බෑ..ඉතින් හැමදාම මං ඔය දෙන්නට හෝන් එක ගහගෙන යනවා.මේ දවස් ටිකේ අපි ඉන්න පලාතට හොඳටම වැස්ස.ඉතින් ඔය පොඩි උන් දෙන්නව මට දකින්න ලැබුනේ නෑ දැන් සතියකින් විතර.ඔය ගැන හිත හිතා එද්දී තමයි මට මේ සිතුවිල්ල පහල උනේ.

පුංචි නංගියෙක් වෙනුවෙන් හැමදාමත් හීන මැවුව,
ආදරණීය තිශ්…

 

2011-06-07

ආදරණීය තාත්තාට……

father-and-son

තාත්තාගේ මතකය දිගේ ආපස්සට යද්දී මගෙ මතකයේ තියන පැහැදිලි මුල්ම මතකය තමයි මම තාත්ත එක්ක පෙර පාසල් ගිය හැටි.ගෙදර ඉඳල කිලෝ මීටර පහක් විතර දුර බස් යන්නේ නැති පාරක තිබුන සිඟිති පෙර පාසල.පස්සෙ කාලෙක සිඟිති මුල් ළමාවිය මධ්‍යස්ථානය විදියට නම වෙනස් වෙනවා.උදේට තාත්තගේ තිබුන කළු පාට රැලේ බයිසිකලේ ඉස්සරහින් මාව තියාගෙන ඔය මොන්ටිසෝරිය ලඟට ගිහින් අරිනවා.

උදේට යන ගමන් මග කඩේකින් මොනවා හරි අරන් දෙනවා චුටි තිශ් පැටියට කකා යන්න.ඉස්සර තිබුන තල වලින් හදපු පුංචි බෝල වගේ කෑමක්.මං හැමදාම ඕක තමයි ඉල්ලන්නේ.තාත්ත කියනව “පුතේ ඔයා කන්නේ හිමීටනේ,හිමීට කද්දී ඕක තිත්තයි" කියල.ඉතින් අඩන්න ගන්නවා බෑ මට ඕනෙමයි කියල.හැමදාම කලින්ම ඔය මොන්ටිසෝරියට යන්නෙ මං.අපේ තාත්ත තමයි මුලින්ම මාව එක්කගෙන යන්නෙ.හැබැයි හවසට අන්තිමට එන්නෙත් මං.තාත්ත එනකල් මොන්ටිසොරිය තියන ටීචගේ ගෙදර තිබුන පේර ගහ යටට වෙලා බලාගෙන හිටපු හැටි තවම මට ලාවට වගේ මතකයි.. ඒත් හැමදාමත් ඔය වගේ අපේ තාත්තට මාව එක්කන් යන්න එන්න ලැබුනේ නෑ. 

1994 එක දවසක (හරියටම කොයි කාලේද කියලවත් මට කියාගන්න බෑ, තිශ් බබා පුන්චියිනෙ) හදිස්සියේම අපේ තාත්ත අපිව තනි කරලා අපේම හොඳට විදේශ ගත වෙනවා.පස්සෙ කාලෙක අම්ම තමයි ඔය විදියට පුංචි මං අහද්දී කියන්නේ.ගමේ මාම කෙනෙකුට තිබුන කළු පාට මොරිස් මයිනර් කාර් එකක පුංචි තිශ් ජීවිතේ පලවෙනි වතාවට ප්ලේන් බලන්න යනවා.. නැරඹුම් වේදිකාවට වෙලා ඈත තියන ප්ලේන් එකක් දිහා බලාගෙන ඉද්දි එදා එයාට දැනෙන්නෙ නෑ තාත්ත එයාව දාල යන දුක..ආපහු එද්දී අම්ම ප්ලාස්ටික් බැට් එකයි බෝලෙකුයි අරන් දෙනව.දැන් ඔක්කොම අමතකයි.ඒත් ඊට පස්සෙ දවසෙ මොන්ටිසෝරි යන්න තාත්ත නෑ කියල දැනෙද්දී පුංචි තිශ් හොඳටම දුක්‌ වෙනවා.එදා ඉඳල අවුරුදු දෙකක් යනකල් තාත්ත ලංකාවට එන්නේ නෑ..ආයෙත් තාත්ත ලංකාවට එන්නේ  පුංචියට තිබුන ගේ ලොකු කරලා හදන්න. ඒ වගේම තිශ් බබාව හොඳ ඉස්කෝලෙකට දාන්න.

1994 ඉඳං තාමත් තාත්ත නැති අඩුව විඳගෙන ජීවත් වෙනවා.වරින් වර ලංකාවට ආවත් හැමදාමත් අපි ලග රැඳිල ඉන්න තාත්තට බැරි වෙනව.ඉස්සර කෝල් ගන්න විදියක් නෑ.තාත්ත හරි ආසයි අපි ලියුම් යවනවට.හැමදාම මං අම්ම ලියන ලියුම අස්සට දාල යවන්න පුංචි ලියුමක් ලියල දෙනව.තාත්ත ලග තවමත් සමහර විට ඒ ලියුම් ඇති.මට මතකයි තාම පහ වසරේදී රාජකාරි ලියුමක් ලියන්න කිව්වම මං තාත්තට රාජකාරී ලියුමක් ලියපු හැටි.තාත්තගේ යාලුවෙක් ලංකාවට එනවනම් අපිට මොනවා හරි එවනවා.චූටි කාලේ 

මං ආසම තාත්ත එවන රට ඉඳි කන්න.එහෙම එන කෙනෙක් අතේ තවත් දෙයක් අනිවාර්යෙන් එනවා.ඒ තමයි තාත්ත අපිට කතා කරන කැසට් පටියක්.අම්ම ලග තිබුන රේඩියෝ එකට බැට්රි හතරක් ගේනකල් ඉවසල ඉන්න බෑ තිශ් ට.කොහොම හරි ඕකෙ මුල් ටික අම්ම මට අහන්න දෙන්නේ නෑ.මට අනිත් පැත්තලු පුතාට.ඉතින් මට තාත්ත කතා කරන එක මං ආසාවෙන් අහගෙන ඉන්නව.අහන ප්‍රශ්න වලට තනියම උත්තර දෙනවා මට තාම මතකයි.

මගෙ ජීවිතේ ගොඩක් තැන් වලදී ළඟ නොහිටියත් මට තාත්තගෙ ආභාෂය ලැබෙන්න ඇති..මේ ලියන මොහොත වන තුරුත් ජීවිතේ කවදාවත් මත්පැන්,දුම්වැටි කිසි දෙයක් පාවිච්චි නොකර ඉන්න මට තාත්තගෙ ජීවිතයෙන් යම් කිසි බලපෑමක් තියෙන්න ඇති.

අද මේ සටහන ලියන්න විශේෂ හේතුවක් උනේ තාත්තගේ අදට යෙදී තියන 48 වෙනි ජන්ම දිනය.එදා ඉඳං අද වෙනකල් කවදාවත් මගෙ තාත්තට අපිත් එක්ක එකට ඉඳගෙන උපන්දිනේ සමරන්න ලැබුනේ නෑ.අපි හින්දම දුර රටකට වෙලා කාත් කවුරුවත් නැතුව තනියම ගෙවන ජීවිතේ මට නොදැනෙනවා නෙමෙයි.

අපි ඊළඟ උපන්දිනේනම් කොහොම හරි එකට සමරමු තාත්තෙ.මේ ඇත්තමයි කියන්නේ… පොඩ්ඩක් මුරණ්ඩු උනාට තිශ් පුතා ඔයාට ගොඩක් ආදරෙයි….!!!!

මේ සටහන මං මේ විදියට ඉවර කරන්නම්….

father-and-son-beach

පියාණනී මා නැවත උපන්නොත් අපාරවූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා…. ඔබේම පුතු වේවා………!!!!!!


තාත්තට ගොඩක් ආදරේ පුංචි කොලු පැටියා…
ආදරණීය තිශ්..

2011-05-26

කතරට දිය දෝතක් විය ඔබ

බස් එකත් දාගෙන මේල් ඉන්බොෂ් එක බලාගෙන ඉද්දි එක පාරටම මේල් එකක් ආවා..Sender ගෙ නම තිබුනේ හිස් අහස කියල.මාව උඩ ගියා.. කාලෙක ඉදන් මං සඳරු සෑර් ගෙ හිස් අහස කියවන්නේ.අනික තමන් ලියපු පොස්ට් එකක් ලංකාවේ ප්‍රසිද්ධ පත්තරේක පවා පල උන බ්ලොග් ප්‍රවීනයෙක් ඇවිත් වචනයක් හරි කියල ගියොත් හිතට දැනෙන සතුට ආයේ විස්තර කරන්න ඕනේ නෑනේ ..ඒ වගේමයි අද උදේ ඉඳං හසී, සිතුවිලි නිහඬයි වගේ බ්ලොග් අවකාශේ ප්‍රසිද්ධ අයත් ඇවිත් තිබුනා.මේ හැම දෙකටම හේතු උනේ අද මාරයා අයිය දාපු පොස්ට් එක. ඒකෙන් අපි වගේ හැංගිලා හිටපු බ්ලොග්කරුවන්ට ලොකු උදව්වක් උනා.ඉතින් ඔබට බෙහෙවින් පින් මාර අයියේ.

මාස හතරක්.....කිසිම වචනයක්වත් ලියන්නේ නැතුව නවත්තල තිබුන මගෙ බ්ලොග් කෙරුවාව ආයෙත් අද ඉදන් පණ ලබනවා.ලස්සන කතාවක් ගලපාගෙන ඇවිත් එක පාරටම නවත්තන්න උනේ මගෙ ජීවිතේ වෙච්ච හැල හැප්පීම් එක්ක නිදහසේ වචනයක්වත් ලියාගන්න හිත හදාගන්න බැරි උන නිසා.

මං මුලින්ම බ්ලොග් ලියන්න පටන් ගත්ත දවස් වල අපේ ඔෆීසියේ කව්රුත් බස් පැද්දේ වත් බ්ලොග් ලිව්වෙවත් නෑ. ඒත් දැන් මට පාලු නෑ.නචිය ඉන්න හින්ද. බස් ඒකට මාව දාල දීල කස්ටියට මාව අදුන්නලා දුන්න හින්ද මගෙ ගමන ආයේ පටන් ගන්න මේ මොහොතේ නචියවත් අමතක කරලා බෑ.

දුමී අයිය... මං මගෙ මුල්ම පොස්ට් එකෙන් කිව්වා වගේ මගෙ බ්ලොග් ලිවීමේ කලාවට පාර කිව්වේ දුමී අයියගේ කට කහන කතා බ්ලොග් එක.ඉතින් එයාගෙ 50 වැනි බ්ලොග් පොස්ට් එකට මං සුභ පතල Comment එකක් දැම්ම.මං දැනගෙන හිටිය කොයි වෙලේ හරි දුමී අයිය මේ හැම එකකටම Reply කරන බව.ඔන්න අද හවස වැඩේ පටන් ගත්ත.මාත් ඒ පිටුවටම වෙලා Refresh කර කර හිටිය මගෙ Comment එකට මොනවා කියයිද කියල.මං කවියක් දාල තිබුන නිසා දුමී අයියත් කවියෙන්ම උත්තරේ දීල තිබුන.ඒ ගැනත් ගොඩක් සතුටුයි.

ඔය හැම දෙයක්ම අතරේ මං ලියන එක නවත්තල තිබුන කාලේ මට වද දීපු තවත් චරිතයක් හිටිය.නිපුනි නංගි... ඔව් ඔයාවත් අමතක කලේ නෑ මං.ආයේ අලුත් එකක් ලියන්නේ කවද්ද, අර කතාවේ ඉතුරු ටික ලියන්නකෝ..කියා කියා ගුගල් සංවාද වලදී නිතරම මට කියපු අනුත්තරා නංගි..ඔන්න ආයෙත් තිශ් අයිය නවත්තපු තැනින් කතාව පටන් ගන්න යන්නේ...

තවත් කෙනෙක් අමතක නොකර බෑ.. වැපා.. ඊයේ පෙරේද දවසක උබ කව්ද බං කියල අහල මාව අදුරගෙන මාව ගොඩක් දිරිමත් කළා ආයෙමත් ලියපන් මචං.අපි බස් එකෙත් පොඩි පබ්ලිසිටි පාරක් දෙමුයි කියල.ඉතින් වැප් නිශාන්ත අයියවත් මේ මොහොතේ මතක් වෙනවා.

හරි එහෙනම් , ජීවිතේ මහා පුදුමාකාරයි....මගෙ කතාව ඊටත් වඩා පුදුමාකාරයි... ආයෙමත් මාව කම්මැලි වෙන එකක් නෑ ආදරණීය සිහින බ්ලොග් එක ඇතුලෙ.පුළුවන් තරම් ඉක්මනට කියන්න ගිය කතාව ටිකෙන් ටික කියන්නම්.ඊට පස්සේ මං හිතාගෙන ඉන්නේ මගෙ ජීවිතේ මට මුණ ගැසුන අපූරු චරිත ගැන වෙන වෙනම ලියන්න. දැන් මං දන්නවා මං මේ ලියන වචන කව්රු කියෙව්වේ නැතත් ඔයා කියවනවා කියල.මට ඒ ටික ඇති.එහෙනම් මගෙ කතාව හෙට ඉදන් ආයෙත් ආදරණීය සිහින බ්ලොග් එක ඔස්සේ අරන් එන්නම්.

අර ඉස්සර හීන මවපු පුංචි කොලු පැටිය තාමත් ඉන්නවා..,
ආදරණීය තිශ්.

2011-01-08

ජීවිතය සිහිනයක් නොවන්නට

අද හවස මං මුණුපොතේ යාලුවෙක් එක්ක සංවාදයක් දාගෙන ඉද්දි මතු උන දෙයක් ගැන තමයි මං අද ලියන්න හිතන් ඉන්නේ.ඇත්තටම කියනවනම් මීට කලින් කිසිම දවසක මට මේ දේ හිතුනේ නෑ.
අපේ ජීවිතෙන් තුනෙන් එකක් දැන් ගෙවිල ඉවරයි නේද?දැන් මට වයස අවුරුදු විසි දෙකයි.මේ අවුරුදු විසි දෙකට අපි කරපු දේවල් මොනවද?
මං ටිකක් මහන්සි වෙලා හොයාගත්ත තොරතුරු ටිකක් මේ..

අපි කව්රුත් පාවිච්චි කරන දුරකථනය ගැන ඇලෙක්සෙන්ඩර් ග්‍රැහැම් බෙල් මහත්තය 1865 දී මූලික පරීක්ෂණ කරද්දී එයාගේ වයස අවුරුදු 18 යි.




1958 දී Robert Heft ඇමරිකාවේ ජාතික ධජය නිර්මාණය කරනවා.ඒ වෙනකොට එයාගේ වයස අවුරුදු 17 යි.




Mark Zuckerberg 2004 දී Facebook වෙබ් අඩවිය ලෝකෙට හඳුන්වල දෙනවා.ඒ වෙනකොට ඔහු අවුරුදු 20 ක විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්..




1824  දී Louis Braille විසින් ලෝකෙට බ්‍රේල් අක්ෂර ක්‍රමය හඳුන්වා දෙනවා.ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 15 යි.







ඉතින් මේ වගේ දේවල් දැක්කම අපිට හිතන්න කොච්චර දේවල් ඉතුරු වෙනවද? ඇයි අපිට බැරි..අපේ ජීවිතෙන් තව ඉතුරු වෙලා තියන්නේ 2/3 ක වගේ කාලයක් නේද?ඒකෙනුත් අන්තිම අවුරුදු 20 ගැන අපිට අමතක කරන්න වෙනවා නේද?එතකොට මේ ලෝකෙට දෙයක් කරන්න අපිට තව ඉතුරු වෙලා තියන්නේ අවුරුදු 20 ක් වගේ පොඩි කාලයක් නේද? ඉතින් මගේ යාලුවනේ මේ ලෝකේ දියුණු කලෙත් අපි වගේම මිනිස්සු නේද?


ඔය චාල්ස් ඩාවින් මහත්තය කියල තියනවා මේ වගේ කියමනක්. A man who dares to waste one hour of time has  not discovered the value of life. ජීවිතේ අපිට ලැබිල තියන කාලය ගොඩක් වැදගත්.ඒ ජීවිත කාලයෙන් පැයක් අපතේ යවන්න කැමති කෙනෙක් කවදාවත් ජීවිතේ වටිනාකම තේරුම් ගන්නේ නෑ.ඒ කියන්නේ ජීවිතේ වටිනාකම දන්න මනුස්සයට අර පැය උනත් ගොඩක් වටිනවා.මතක තියාගන්න අපිට ලැබිල තියන්නේ පුංචි කාලයයි.හැබැයි මේ පුංචි කාලයෙන් අපි ගොඩක් දේවල් කරන්න ඕනේ..මට පහු ගිය දිනක ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ බලමණ්ඩලයේ නායකත්ව පුහුණු කඳවුරකට සම්භන්ධ වෙන්න අවස්ථාව ලැබුන.ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න, දැනගන්න, විඳගන්න එහිදී මට අවස්ථාව ලැබුනා.එකේදී මං ඉගෙන ගත්ත දෙයක් තමයි අපි හැම කෙනෙක් තුලම හොද නායකයෙන් ඉන්නවා කියන එක.ඕනෑම තැනකදී නායකත්වය ගන්න, බය නැතුව ඕනෑම දෙකට මුහුණ දෙන්න පුළුවන් චරිතයක් අපි තුලත් ඉන්නවා.අපි එක අඳුනගන්න ඕනේ.දෙයක් ලෝකෙට අලුතෙන් දෙද්දී මුළු ලෝකෙම අපිට හිනා වෙන්න පුළුවන්.ඒ ඕනෑම දෙකට මුහුණ දෙන්න ශක්තියක් හොද නායකයෙක් ලග තියෙන්න ඕනේ.මතක තියාගන්න, ගැලිලියෝ ගැලීලි ලෝකේ සුර්යා වටා චක්‍රාකාරව ගමන කරනවා කිව්වම ලෝකෙම ඔහුට හිනා උනා.ඒත් ඒක අහන අපි දැන් හිනා වෙනවා කව්ද එදා ගැලීලියෝට හිනා උන මෝඩ මිනිස්සු ටික කියල.ලෝකේ එහෙමයි මගෙ යාලුවනේ.අපි දෙයක් හරි කිව්වොත් ඒක වැරදියි කියන්න දාහක් දෙනා බලාගෙන ඉන්නවා.මෙතැනදී මගෙ Blog එකේ නමට පටහැනි දෙයක් මේ post එකට එකතු කරන්න වෙනවා.හැමදාමත් හීන මවල හරියන්නේ නෑ.ඒ හීන සැබෑ කරගන්න,බලාපොරොත්තු ඉටු කරගන්න කැප වෙලා වැඩ කරන්න ඕනේ.මේ ලෝකේ දියුණු උනේ එහෙම වැඩ කරපු මිනිස්සු නිසා.එකෙක් උඩට නගිනකොට ඌව කකුලෙන් බිමට අදින ජාතියේ උන් තමයි ගොඩක් මේ ලෝකේ ඉන්නේ.එහෙම උන්ට ඒ කකුලෙන්ම දෙකක් ඇනල අපිට උඩට යන්න පුළුවන්නම් ඒක තමයි වෙන්න ඕනේ.එතකොටයි අපිට හම්බවෙලා තියන මේ වැදගත් මනුස්ස ජීවිතයෙන් ලෝකෙට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ.

හැමදාමත් හීන දකින්න එපා..හැබැයි හීන මවන්න..හීන හැබෑ කරගන්න බය නැතුව වැඩ කරන්න.