2012-05-23

හිතුවෙවත් නැති දවසක...


දිගු කලකට පසු ගම්පහ ගියෙමි. රාජකාරිය අවසන් කර බස් රථයක් කරා එන විට ගම්පහ අතිරේක පන්ති අවසන්ව ගැහැණු ලමෝ එක සීරුවට බස් නැවතුම කරා ඇදී එමින් සිටියහ. මමද යුහුසුලුව බස් රථයක් වෙත නැගගත්තේ අසුනක් ලබා ගන්නා අටියෙනි. අවාසනාවක මහත ඇන්ටි කෙනෙක් ප්‍රියකරු ගැහැනු ලමයෙකු ලඟන් ඉඳගත්තා පමණි. දැකුම් කලු යුවතියක් වූ ඈ ඇඳ සිටියේ දම් පැහැති සායක් සහ සුදු පැහැති කොටන් වලින් නිම කල බ්ලවුසයකි. එතනින් එහා ඇඳ සිටියේ කුමන වර්ගයේ ඒවාදැයි මා විනිශ්චය කරන්නට නොගියෙමි. තම බෑගය මදක් විවර කරගත් ඕ බෑගයේ තිබූ තම ජංගම දුරකථනය අතට ගන්නා ලදී.




 තම දකුණු අතට ගත් HTC ඇන්ඩ්ඩ්‍රොයිඩ් වර්ගයේ දුරකනයේ උඩ තිබූ බොත්තමක් එබූ ඈ නැවත තම සියුමැලි ඇඟලි ටච් සක්‍රීනයේ පහල කෙලවර සිට උඩ කෙලවරට ගෙන යමින් එය අන්ලොක් කරගන්නා අයුරු මා දිටිමි. වේලාව බලා එය නැවත බෑගයට රුවාගත් ඈ යම් කිසි ශාරීරික පීඩාවකින් පෙලෙන බව මා හට නිශ්චය විය.


මුලින්ම තම එක් අතක් හිස මත තබා ඇස් පියාගැනීමේ අසාර්ථක ප්‍රයත්නයක යෙදුන ඈ ඉන් පසුව ඉදිරි අසුන වෙත නැමී ඔලුව තබාගන්නට සමත් විය. අර මහත ඇන්ටී දෙසට ඇදී ගිය ඈ දෙස ඒ නපුරු ඇන්ටී නපුරු බැල්මක් හෙලන අයුරු ඇය නොදුටුවද මම දිටිමි. පෙනුමෙන් ඉතාමත් අහිංසක වූ ඈ කෙරේ මාගේ අනුකම්පාව යොමු විය. මා ඒ අසුනේ සිටියානම් මාගේ උරහිස උවද දීමට මැලි නොවෙමි. නමුත් මේ සියල්ල මම බලා සිටියෙමි. කෙසේ හෝ බස් රථය අවසානය කරා ආ පසු මා වෙනත් බසයකට ගොඩ වීමි. කුමක් හෝ හේතුවකට ඇයද මා ගොඩ වූ බසයට නැගුනීය.


ඇය දෙස නෙතු යොමා සිටි මා හට හදිසියේ ඇස ගැටුනේ බස් රථයට ගමන් ගාස්තුව දීමට ඈ විවර කල ඇගේ මුදල් පසුම්බියයි. ඇයගේ පුද්ගල ජාතික හැඳුනුම්පත පැහැදිලිව එහි එක් කොනක තිබූ අතර එහි අංකය ලෙස 93 න් පටන් ගෙන තවත් අකුරු 7ක් සහ V අකුර සඳහන් විය. ඇත්තෙන්ම පැහැපත් සහ මනා රූමත් යුවතියක වූ ඈ උසස් පෙල කරනා තවත් දියණියක් බව මට ප්‍රත්‍යක්ෂ විය.මා බසයෙන් බසිනා විටද මා දෙස අහිංසක දෑසින් බලා සිටින අයුරු මා දුටුවේ අවසානයේදීය.


ඊයේ දින සිදුවූ සත්‍ය කතාවකි.


තාර පාරේ තිබූ තඩි කලු ගලකට වැරෙන් පහරක් එල්ල කරමින් දකුණ පමණක් බලමින් පාර මාරු වූ මං - තිශ්...

2011-09-22

සිහිනය නැවතත්...(දෙවැනි දිගහැරුම)


ඔවු අසරණ උනා…. හිතුවෙවත් නැති තරම්.. මාස දෙකක් ආසන්න වෙන්නත් උනා.හෙට ඉතුරු ටික ලියන්නම් කියල ගිය තිශ් ට මොකද උනේ කියල ගොඩක් අය ඇහුව.ඔවු.. මට ලියන්න බැරි උනා. ලියන්න හිත හදාගන්න බැරි උනා.ලිව්වේ නැතුව නෙමෙයි.ලිව්ව… පිටු දෙක තුන ලිව්වා.. ලිය ලිය මැකුව..මං කොච්චර හොඳට ලිව්වත් ඒක මට මදි උනා.ලියන ලියන හැම අකුරක් ගානෙම මම මැකුව.කමක් නෑ… ආයෙත් ලියනවා.මේක සමහර විට අද මම මකන්නේ නැති වෙයි.


මගේ පුංචි කුමාරි හෙමින් හෙමින් යන්න ගියා…මහා හයියෙන් වැටුන වැස්සත් එක්ක පුංචි කුඩේ නොපෙනී ගියා….

මගේ ජීවිතේ ගෙවුන තවත් අවිනිශ්චිත මිනිත්තු කීපයක් ගෙවිල ගියා.. යකඩ තහඩුවෙන් වට උන ඒ කන්ටේනර් කුටීරේ ඇතුලේ ඉඳං කිරි කිරි ගාල හුළඟට හෙළ වෙන ජනේලෙන් ඈත බලන් උන්න මට අන්තිමට ඔයාව දැකගන්න පුළුවන් උනා.ඔවු…. මුහුද පැත්තෙන් එන හුලන් පාරට එන හිරිපොදට මුවා වෙන්න ඔයා කුඩේ හරෝගෙන ආව හැටි මට තාම මතකයි.යාළුවො ටික පස්සෙන් වැටිලා ආවා.

උන් තුන් දෙනා පවු.අපි දෙන්න හින්ද අමු කට්ටක් කන්න වෙන බවනම් මට සුවර්.ආව විතරයි අර නිලධාරියා කඩන් පැන්න , ගනිල්ලා උබලගේ අයිඩින්ටි.අනේ අර අසරණ පුංචි කුමාරිට ඒ වෙද්දී අයිඩින්ටියක් නෑ.අනිත් හැමෝම එක්කම මාත් දික් කළා මගෙ ජාතික හැදුනුම්පත.හ්ම්ම්… තොපි… කියල බනින්න පටන් ගත්ත බැනිල්ල මට තාම මතක තිබුනත් මෙතන ලියන්න තරම් හිතක් නෑ.අන්තිමේදී අනිත් හැමෝගෙම ජාතික හැදුනුම්පත් ආපහු දුන්නත් මගෙ ID එක ආපහු දුන්නේ නෑ.තමුසේ දැන් ගිහින් මෙයාලව කෝච්චියට දාල ආපහු එනවා.මම ඉතුරු හරිය තමුසේ එක්ක බලාගන්නම්.ආයේ වචනයක්වත් කතා කරන්න මට ඉඩ ලැබුනේ නෑ.

පරණ පාර්ලිමේන්තුව පැත්තෙන් අපි හැමෝම පයින් ආව කොටුව පැත්තට.යකඩෙන් හදපු පාලමක් උඩදී මම මගෙ පුංචි කුමාරිට සමු දුන්නා.ඔයා දැන් යන්න නංගි.සමහර විට මට ආයෙත් පොලීසි යන්නත් වෙයි.ජීවිතේ ඔහොම තමයි.ඔයාට බෑ මං එනකල් කොටුවට වෙලා ඉන්න.කෝච්චියක් ආව ගමන් ගම්පහට ගිහින් ගෙදර යන්න.හරි… තේරුනාද..කඳුළු පිරුන ඇස් දෙක දිහා මට තවත් බලන් ඉන්න බෑ.මම ආපහු හැරුනා.ආයෙත් ආපු දුරම යන්න ඕනේ.

break,up,emotions,love,black,and,white,couple,sad-ad2512450c0bc889adf515e621aef1dd_h_large

කුෂාන්, ඔවු උබව මට අමතක නෑ මචන්.උබ තමා මම එපා කියද්දීත් බලෙන්ම මගෙ පස්සෙන් ආවේ.අතේ කිසිම දෙයක් නෑ.මගෙ බෑග්,අයිඩින්ටි ඔක්කොම අර කලින් කිව්ව කන්ටේනර් පෙට්ටියේ.පුළුවන් තරම් වේගෙන් ආයෙත් කුෂාන් එක්ක මම ආයෙත් ඒ කිට්ටුවට ආව.

මචන්,අරූ එන්න කිව්වේ මට විතරයිනේ.උබ පොඩ්ඩක් මේ හරියේ හිටපන් කියල මම ඌ ටත් සමු දුන්න.ආයෙත් අර කාලකන්නි යකඩ පෙට්ටිය ඇතුලට මම ගියා.එතකොට සාත්තර කියන මිනිහෙක්ව අල්ලගෙන.පවු ඒ මනුස්සයා..රාලහාමි රාලහාමි කිය කියා මොන මොනවද කියනවා.ටිකකින් ආපහු ගිය ඒ මනුස්සය ආපහු ආවේ ලෙමන් පෆ් බිස්කට් පැකට් එකකුත් අරගෙන.

ඒ වෙද්දිත් මගෙ බෑග් එකේ හැම අස්සක් මුල්ලක්ම බලල තිබුනේ.උදේ ලස්සනට හතරට නමල හාෆ් ශීට් එකක ලියල තිබුන ඒ ලියුම ඒ වෙනකොට ඒ නිලධාරියා අතේ.ඔවු…මට කලින් ඒක ඌ කියවල.මට එහෙම හිතුනා.කනවා මේ බිස්කට් එකක්.තමුසේ කාලද ඉන්නෙ.මේ තරම් දෙයක් කරපු මූ ගාව කොහෙන්ද මනුස්ස ගති ගුණ.මම එහෙම හිතුව.නෑ…මට දැන් කන්න බෑ.මාත් එක්ක ආව අනිත් කවුරුත් තාම කාල නෑ.එහෙම එකේ මට කන්න බෑ.

ඔහොම එක එක ප්‍රශ්න කිරීම් මැද්දේ පැයක් විතර ගත වෙන්න ඇති.නෝට් පොතේ ලියපු අපෙ විස්තර තියන කොලේ මට පේන්නම එලියට ගත්ත.දැන් තමුසෙට මොකද වෙන්න ඕනේ.තමුසෙට ගෙදර යන්න සල්ලි තියනවද?අනිත් අය ගියාද? බෑග් එකේ තිබුන සල්ලි ටික මූ දකින්න ඇති.වැඩිම උනොත් සීයේ කොළ දෙකක් තියෙන්න ඇති.ගෙදරින් දවසකට දුන්නේ රුපියල් සීයයි පන්ති යන්න.කන්න බොන්න.ඒක දැකලද කොහෙද …

හ්ම්ම් එහෙනම් මම දැන් මේ කොලේ අයින් කරනවා.තමුසේ පුළුවන් මොකක් හරි කරලා යනවා.මම දැනගත්ත මූ සල්ලි ඉල්ලන්නේ කියල.අහිංසක පොඩි උන් තව කී දෙන්නම් මෙහෙම අහු වෙලා ඇත්ද.මට එහෙම හිතුනා.මොනවා කරන්නද.තාමත් මාව කරකවල අත ඇරිය වගේ. අන්න අර ඈත පේන හට් එකෙන් ගෝල් ලීෆ් දෙකක් අරන් එනවා.පැය ගානක් රස්තියාදු උන මට අන්තිමට උනේ එහෙම එකෙක්ට සිගරට් අරන් දෙන්න.කොහොමෙන් හරි ඒ හැම දෙයක්ම ඉවර වෙලා ආපහු ආව කුෂාන් හිටපු තැනට.අනේ…. ඌ එතන නෑ………………..

මූ මොන දේවාලෙක ගිහින්ද.දැන් ඉතින් මේ කොළඹ ඌව කොහේ හොයන්නද.දැන් ඉතින් යමන්කෝ තනියම ගම්පහ කෝච්චියේ.මම ආයෙත් ඉස්ටේෂමට ආව.ටිකට් එකත් අරන් ඇතුලට යද්දී……….
අනේ මගෙ පුංචි කුමාරි බැංකුවක් උඩට වෙලා ඉන්නවා.පැය දෙකක් විතර ගත වෙලා ඉවරයි මේ වෙද්දී.අඩෝ මචන් බලපන්,උබ එනකල් යන්න බෑම කිව්ව.කොච්චි දෙකක් ගියා බං.අපිත් ගියේ නෑ.මේ කෙල්ලව මෙතන දාල යන්න බෑ බං.මට පුදුම දුකක් හිතුනා.බෝල ඇස් දෙකෙන් තාම මා දිහා බලන් ඉන්න ඒ අහිංසක සමනලී….

199480993

විනාඩියට දෙකට විස්තරේ කිව්ව මම , ඒ කුෂානය ආවද බං ආපහු…

නෑ යකෝ, උබ එක්කනේ ගියේ….
සික්, බලපන්… මාත් එක්ක ගියාට මම මග දාල ගියේ.. ආපහු ඇවිත් බලද්දී මූ නෑ.කොච්චියකුත් ආවා.අපි හැමෝම දැන් කලබල වෙලා.

එක පාරටම මූ ආවා.කොහෙන් ආවද කියල මටවත් දැන් මතක නෑ.හැබැයි ඇවිත් විස්තරේ කිව්ව හැටි මට තාම මතකයි.

“බලපන් , මම එතනට වෙලා ඉද්දි ආමි ජීප් එකක් ආවනේ.මගෙන් ඇහුව මොකද තනියම කරන්නේ කියල.මගෙ අතේ මුකුත් තිබ්බේ නෑනේ.තෙමෙන හින්ද උබලගේ බෑග් වලට දාලනේ තිබුනේ පොත්,පර්ස් ඔක්කොම.බලපන්, එතකො‍ට මම ත්‍රස්තවාදියා වගේ.මාව දාගත්ත ජීප් එකට.හොඳ වෙලාවට අපෙ ගෙවල් පැත්ත දන්න අයිය කෙනෙක් උන්න බං එතන.මගෙන් විස්තර අහ අහ හෙන දුර ගියා බං.අන්තිමට උන්ට මාව විස්වාසයි.බැස්සුවා කොහෙන්ද මන්ද තැනකින්.138 ක් ආව.මම එල්ලුනා බං……..”

ඔන්න ඔහොමයි වෙලා තිබුනේ.අනේ ඉතින් ඔය ඔක්කොම කරදර වලින් පස්සේ අපි ආයෙත් ආව ගම්පහට.ඒ වෙද්දීත් ගොඩක් පරක්කු වෙලා.ඉක්මනට බස් එකක් අල්ලගෙන ගොඩ වෙලා ගෙදර ආවේ හැම දුකක්ම හිතේ තියාගෙන.

ගෙදර ඇවිත් නිවී හැනහිල්ලේ බෑග් එක ඇදල බලද්දී ලස්සන අත් අකුරෙන් ලියාපු අර ලියුම තිබුනා.උදේ ඉඳං පෙරුම් පුරපු ඒ වචන ටික මගෙ හිතේ ගැඹුරේ ම තැන්පත් උනා.
එපා වෙන්න දෙන්න එපා
මට නුඹව
හිනා වෙන්න ආසයි මම
නුඹ ලඟම
පොළව අකීකරු උනාම
අහස වෙලා වැහි ඉහින්න
එපා දැවෙන ඉර වාගේ
රැස් විහිදවන්න
රළ පෙල යලි යලි හැපුනට
තරහ යන්නෙ නෑ වෙරළට
වෙරළට නෑවිත් ඒ රළ කොයිබද යන්නේ
නුඹටම හැර කාටද මේ හිත පෙන්නන්නේ
පුංචි අත් අකුරින් ලියුමේ අන්තිමට ඔය පද පේලි ටික ලියල තියනවා.තාමත්, ඔවු මේ දැනුත් මම ඔය කවිය දිහා බලාගෙන ඉන්නවා.වෙන පාටකින් ලියපු ඔය පද පේලි ටිකට මම තාමත් ආදරෙයි..ඔයා දන්නවද නංගි.ඔයා මට දුන්න 37 වෙනි ලියුම තමයි ඔය.

මහා වැස්සේ තෙමීගෙන කොළඹ ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව අන්තිමට වෙන පාරකින් යුද හමුදා රෝහල පැත්තෙන් ඇවිත් අර නම ලියන්න අමාරු වීදියෙන් බස් එකට ගොඩ වෙලා කොටුවට යනකල් ඩ්‍රයිවර් සීට් එක අල්ලගෙන පාර දිහා බලාගෙන ආව මම,

ආදරණීය තිශ්.

ප.ලි.
කෝ මේ සිහිනයා, ලියපිය හොඳ හිතින් මේකේ අනිත් ටික කියල කියපු හැමෝටම ;
ඔන්න මම ලිව්වා.තවම ඉවර නෑ.තව ගොඩක් දේවල් තියනවා ලියන්න.හැම දෙයක්ම ටික ටික කියන්නම්.

2011-06-27

සිහිනයක්ම විය ඒ සොඳුරු දින..(පළමු කොටස)

beautiful-girl-photography-rain-umbrella-Favim.com-53961

උදේ ඉඳං බීරින් කරන් තිබුන කොළඹ අහස මහා අනෝරා වැස්සක් වෙලා කඩා වැටෙන්න ගත්ත.ඈත පේන අහස උසට නැගුන තට්ටු නිවාස පේලිය දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉන්න ඒ පුංචි සමනලිය බාගෙට වැහුන ජනේලෙන් එලියට පුංචි අත දාල වැටෙන වතුර බින්දු එකතු කරන්න අසාර්ථක උත්සාහෙක.අතට වැටෙන වතුර බිංදු සුදු මූනට විසි වෙද්දී ඒ මූනේ ඇඳෙන අහිංසක හිනාව දිහා බලාගෙන උන්න මට එයාට කරදර කරන්න හිතුනෙම නෑ.මං අද දවස ගැන, අද උදේ සිදුවීම් පෙළ කල්පනා කරන්න ගත්ත…

මගේ ලෝකෙට ආව පුංචි සුරංගනාවිය, ඔවු ඒ පුංචි ඇස් දෙක මගේම වෙලා අදට හරියටම අවුරුද්දක්.උදේ ඉඳන්ම පොද වැස්ස.. තනියම ගම්පහ ඉස්ටේෂම ඉස්සරහට තෙමීගෙන ආව මට ලා දම් පාට කුඩයක් ඉහලගෙන ඈතින් එන මගේ ඒ පුංචි කෙල්ලව අදුනගන්න ඒ හැටි අමාරු නෑ.කලින් දවසක කිව්ව වගේම මං ආසම ලා නිල් පාට මල් වැටුන ගවුමත් ඇඳගෙන කලින් දවසක DSI එකෙන් මං අරන් දුන්න ලස්සන සෙරෙප්පු දෙකත් දාගෙන මං ළඟටම ඇවිත් හිටහත්ත ඔයා…

“සුදු අයියේ… තෙමිලා නේද ඔයා… කිව්වට අහන්නේ නෑනේ කුඩයක් අරන් එන්න කියල.. ගොඩක් වෙලාද ඇවිත්..”

“ම්ම්හ්ම්… මේ දැන් ආවේ…”

බෑග් එකේ කුඩේ ගෙනාවට ඕක ඉහලන්න කම්මැලි කමට පොඩ්ඩක් තෙමුන කියල ඔයාට කිව්වොත් අද ලස්සන දවසේ උදේම ඔයාගේ හිත රිද්දන්න වෙනවා. ඒ හින්ද මං සද්ද නැතුව හිටිය..

“අදනම් මෙහෙම තෙමීගෙන සමාධිය ලඟට පයින් යන්න බෑ නේද…” ඔයා ඇහුවා…

වැස්ස මට වාසනාව ගෙනත්ද… පයින් තියා අදනම් බස් එකේවත් පංතිනම් යන්න බෑ…

“නංගි, අද අපි වෙන කොහෙ හරි යමු…මටනම් පංති යන්න බෑ..” හිතේ තිබුන අදහස මං කිව්වා… මං දන්නවා ඔයා බෑ කියන්නේ නෑ කියල..

“ම්ම්… කොහෙද අපි යන්නේ…” මගෙ ඇස් දෙකට එබුන ඔයා එහෙම ඇහුව..

හිතේ කිසිම අදහසක් තිබුනේ නෑ…

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීග්‍රගාමී දුම්රිය තව ස්වල්ප වෙලාවකින් පළමු වේදිකාවට ලඟා වනු ඇත.

දුම්රිය ස්ථානයේ යකඩ කටින් කියවුන ඒ පණිවිඩේ එක්ක මගේ හිතට ගාලු මුවදොර සිහියට ආව.

පංති යන්න බැරුව ඉෂ්ටේශමට වෙලා හිටපු තව යාළුවො තුන් දෙනෙක් එක්ක කොළඹ කොටුව බලා යන සීග්‍රගාමී දුම්රියට ගොඩ වෙලා දැන් පැයකට කිට්ටුයි.ඔයා තවමත් ඈත බලාගෙන මොනවදෝ හිතනව.පංතියක් මග ඇරලා ගම්පහින් පිටට යන පලවෙනි වතාව.අපිත් එක්ක ආව යාළුවො තුන් දෙනාටනම් ගානක් නෑ වගේ.මං හිමීට ඒ සීතල අතින් අල්ලගත්ත.නොවැරදීම අද මට පුංචි අකුරින් ලස්සනට ලියපු ලියුමක් හම්බ වෙනවා කියල මං දන්නවා.ඔය ලියුම කියවන්න මං ගොඩක් ආසාවෙන් ඉන්නේ.හතරට නවපු හාෆ් ශීට් එකක ලියපු ඒ පුංචි ලියුම මං මගේ බෑග් එකේ දාගත්තේ නිදහසේ තනියම කියවන්න ඕනේ කියල හිතාගෙන.මට කලින් ඒ ලියුම මං වෙන කෙනෙක් කියවයි කියල ඒ මොහොතේ මට හීනෙකින්වත් හිතුනේ නෑ…………

කොටුවෙන් බැහැපු අපි කෙලින්ම ගාලු මුවදොර බලා යන්න පිටත් උනා.ටිකක් අඩු වෙලා තිබුනත් වැස්ස නැවතිලා තිබුනේ නෑ.මගේ බෑග් එකේ තිබුන කුඩේ යාළුවො තුන් දෙනාට දීල අපි දෙන්න අර ලා දම්පාට කුඩේ යටින් යන්න ගත්ත.ලේක්හවුස් එක පාරේ ඇවිත් පරණ පාර්ලිමේන්තුව ඉස්සරහින් පාර පැනල ගාලු මුවදොරට සේන්දු වෙද්දීම පොද වැස්ස මහා වරුසාවක් වෙලා කඩාගෙන වැටුන.පුංචි කුඩේ අපි දෙන්නට ඉඩ මදි..ඉක්මනට හෙවනක් හොයාගන්න වෙයි..මුහුදට මුහුණලා තිබුන කන්ටේනර් පෙට්ටියක් අයිනට ගිය අපි දෙන්න ඈත දියඹෙන් තද සුළඟත් එක්ක එන වැහි පොදට මුවා උනා.ඒ පුංචි ඇස් දෙක දිහා බලාගෙන විනාඩියක් ඉන්න ඇති………..

ෆී………..

තද කොළ පාට වැහි කබායකින් සැරසුන පොලිස් නිලධාරියෙක් ඈත මුර පොලේ ඉඳං අපි දෙන්නට කතා කළා.හිමින් හිමින් අපි දෙන්න ඒ පැත්තට ගියා.පොලිස් මුර පොලක් කිව්වට කන්ටේනර් පෙට්ටියක් ඇතුලේ මේසයක්, පුටුවක් තියල තාවකාලිකව හදපු තැනක්.මුහුදු හුළඟට දිරපු නිසාද කොහෙද බාගෙට වැහුන ජනේලෙන් එන කිරි කිරි සද්දේ විතරක් මට ඇහෙන්න වුනා.මගෙ පුංචි සුරන්ගනාවිගේ ඇස් දෙකේම කඳුලු පිරිලා..

“තමුසෙලා කොහෙද? , මෙහෙ ගන්නවල දෙන්නගෙම බෑග්.. මං බලාගෙන හිටියේ දැන් ටිකක් වෙලා ඉඳං..කෝ අයිඩින්ටි…ගන්නව ගන්නවා.”

ඒ වෙද්දී මං මගේ හැදුනුම්පත හදාගෙන තිබුනත් මගේ පුංචි නංගියට එහෙම එකක් තිබුනේ නෑ.මේ 2006 අවුරුද්ද.මට යන්තං අවුරුදු 17 උනා විතරයි.මට වඩා මාස 9 ක් ම බාල උන නංගිට අවුරුදු 16 යි.මේක අහපු පොලිස් නිලධාරී තුමාට හොඳටම තරහ ගියා.අතේ තිබුන කුඩා ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් ඔහු කාට හෝ ඇමතුවා.

“කොටුව ජංගම පොලිස් රථය අමතන්න.. දෙන්නෙක් ඉන්නවා හැකි ඉක්මනින් මුරපොළ වෙත වාර්තා කරන්න.ඕවර්”

මං දැන් තමුසෙලා දෙන්නව පොලිසියට යවනවා.ගෙවල් වලට කෝල් කරලා අම්මල තාත්තල ගෙන්වල භාර දෙයි හරිද.කෝ තමුසෙලා එක්ක ආව අනිත් උන් ටික.එක්ක එනවා උන්වත් තමුසේ ගිහින්.”

මං දිහාවට හැරුන ඔහු ගෝරනාඩු කළා.මොන තත්වයක් උනත් ඒ පාලු මුරපොල ඇතුලේ මගේ පුංචි සමනලීව තනි කරලා යන්න මට බෑ.ඕනෑ දෙයක් කියපු දෙන්.මං යන්නේ නෑ සුදු නංගිව තනියම මෙතන තියල.මං අර සීතල අතින් ආයෙමත් අල්ලගත්ත.යන්නේ නෑ කියල පෙන්නන්න..

“හ්ම්ම්… තමුසෙට යන්න බෑ නේද… එහෙනම් තමා.. යනවා.. ගිහින් උන් ටික එක්ක එනවා.”

කවදාවත් කොළඹට තනියම පය නොගහපු ඒ පුංචි හිත ගැස්සෙන්න ඇති.ඒත් වෙන විකල්පයක් තිබුනේ නෑ.ජීවිතේ කවදාවත් නැති තරමට මාව අසරණ උනා.කමක් නෑ.ඔයා මෙතන තනියම තියල යනවට වඩා ඔයා ගිහින් ඒ අයව එක්ක එන එක හොඳයි නංගි.. මං හිතන්න උනා..

මගේ පුංචි කුමාරි හෙමින් හෙමින් යන්න ගියා… මහා හයියෙන් වැටුන වැස්සත් එක්ක පුංචි කුඩේ නොපෙනී ගියා….

ඔයා ආපහු එනකල් ඇස් දෙක රිදෙනකල් ඒ ජනේලෙන් ඈත බලාගෙන හිටපු ආදරණීය තිශ් …

පසුවදන : මට ඉතාමත් සංවේදී උන මේ කතාව එක පාරටම ලියල ඉවර කරන්න මට හිත දෙන්නේ නෑ.පුංචි පුංචි දේවල් මග ඇරෙයි කියල මට බයයි.ඒ හින්ද මගේ යාළුවො තරහ නැතුව මට තව එක දවසක් දෙන්න.මං කතාවේ ඉතුරු ටික ලියනවා…. විශේෂයෙන්ම මං ආදරෙන් ඉල්ලන්නේ මාව පෞද්ගලිකව දන්න මේ බ්ලොග් එක කියවන අයගෙන්… ජීවිතේ ලස්සන කාලයක් ගැන ලිව්වට මේ හැම දෙයක්ම හැම කෙනෙක්ම දන්නේ නෑ.විශේෂයෙන් එයා… ඒ හින්ද සිංහල බ්ලොග් අවකාශේ තියන සුන්දරත්වය,ඒ තියන බැඳීම,විශ්වාසය පලුදු වෙන කිසිම දෙයක් කරන්න එපා.කාට හරි හිතෙනවනම් මූ පිස්සෙක්,ආදරයක් මාකට් කරන්න හදනවා කියල කරුණාකරල ආයේ මං ලියන අකුරක්වත් කියවන්න එපා.. දුකයි තමයි මෙහෙම කියන්න.ඒත් මට වෙන කරන්න දෙයක් නෑ.

විශේෂ ස්තුතියක් කරන්න ඕනේ ජනේලයෙන් එහා ලියන කිඩෝ මලයට වෝකි ටෝකි එකට කියන සිංහල නම හොයා දුන්නට. ඒ වගේම දාන්න නමක් හිතාගන්න බැරුව අසරණ වෙලා ඉද්දි උදව්වට ආව හසීගේ සිතුවිලි ලියන අපේ හසී අක්කට.

2011-06-19

හිතුවක්කාර පෙම්බරයා‍ණෙනි

හිතුවක්කාර පෙම්බරයා‍ණෙනි,
අතර මා ඉගිලෙන්න
මේ විසල් අහස් කුස නිදහස්ය නුඹේ නමට........
නුඹේ දෑතේ වෙලී ගත කල 
ඒ සුන්දර සමය
නිමා විය අදින් පසුවට.........
සොදුරු මතකයක්ම පමණක්ම විය
එය මට............
සුන්දරයි කියා සිතු සියළු දේ නිම වෙද්දී
හදට නැගෙන වේදනාව කෙසේ පවසම්ද නුඹ හට.......
මන්ද යත් නොමැති හෙයිනි නුඹ 
දැන් මා ලගට.......
නමුත්
ඇසීමට එකදු ප්‍රශ්ණයකි මගේ සිත තුල
සිනා සෙන්න කියා දුන් ඔය නීල නෙතු වලින්
මා හට හඩන්නට කදුලු උරුම කලේ
මන්ද කියාය............

๑۩๑ මලී ๑۩๑

2011-06-10

මටත් නංගියෙක් හිටියනම්…….

 

donnablog-0003

පොඩි කාලෙට වඩා දැන් මට දැනෙන දෙයක් ගැන පුංචි පොස්ට් එකක් ලියන්න හිතුන.පොඩි කාලේ ඉඳන්ම ජීවිතේ දැනුන හිස් කමක්.ගෙයක් ලස්සන වෙන්න සිරියාවන්ත කෙලි පොඩ්ඩක් ඉන්නම ඕනෙලුනේ.ඉතින් මට හිතෙන විදියට අපේ ගෙදර ඒ සිරියාව නෑ.රණ්ඩු වෙන්නවත්, යාලු වෙන්නවත් මට නංගියෙක් නෑ.මේ ඒ ගැන මට හිතෙන දේ ගැන ලියන්න ගත්තු පුංචි උත්සාහයක්….

ඇත්තටම මටත් පුංචි නංගියෙක් හිටියනම්,

අයිය ඉස්කෝලේ ගිහින් ගෙදර එනකල් දොර ලඟට වෙලා බලන් ඉඳියි එයාට තව ඉස්කෝලේ යන්න කල් තියන හින්ද.අයියත් ඉතින් ඉස්කෝලෙන් මොනවා හරි අරගෙන එයි නංගියට..කොහොම හරි අයියගේ ඉස්කෝලේ පොත් ටිකත් අරගෙන මොනවා හරි කුරුටු ගාල බැනුම් අහගනියි අම්මගෙන්..එහෙම උනොත් අයිය අරගන්නේ ඔයාගේ පැත්ත මගෙ චූටි නංගි පැටියෝ.

කාලයක් යද්දී ඔයත් ඉස්කෝලේ යන්න පටන් ගනියි.ලස්සන සුදු ගවුම් පොඩ්ඩත් ඇඳගෙන අයිය පිට කවර දාල, නම් ලියල දුන්න පොත් ටිකත් බෑග් එකට දාගෙන අයිය එක්කම ඉස්කෝලේ යන්න මගෙ නංගියත් එයි.හවසට ගෙදර ආවම අයියේ… මේක කියා දෙන්නකෝ කියල කිව්වම අපෝ මේ කෙල්ලගෙන් තියන කරදරේ කියලත් කියයි අයිය.ඒත් හැම දෙයක්ම කියා දෙයි..තාම අයියත් පුන්චියිනේ.කොහෙන් හරි හොයාගත්තු අඹ ගෙඩියක්,පේර ගෙඩියක් උස්සන් එයි අයියේ අපි මේක කමු කියල.අඹ කපන්න ගිහින් අයිය අත කපාගත්තම ඉක්මනට දුවගෙන ගිහින් අම්මට කියයි පුංචි ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.ඉස්කෝලෙන් ට්‍රිප් එකක් එක්ක ගියොත් අයියවත් මතක් වෙයි නංගියට.එහෙම වෙලාවට අයියටත් බූන්දි සීයක් හරි අරගෙන එයි ඔයා.කොයි තරම් වෙලාවක් හරි ඔයා එනකල් ඉස්කෝලේ ලඟට වෙලා අයිය බලාගෙන ඉඳියි.

කාලෙත් එක්ක අයිය වගේම ඔයත් ටිකෙන් ටික ලොකු වෙයි.දැන් අයියට ඉන්නේ ලස්සනම ලස්සන නංගි කෙනෙක්.ඒත් අම්ම බය වෙන එකක් නෑ.හොඳ අයියෙක් ඉන්නවනේ නංගව පරිස්සම් කරගන්න.වෙසක් එකට ගමේ යාළුවො ටිකත් එක්ක රවුම් ගහල අයිය ආවම නංගියාට දුක හිතෙයි.ඒ වෙලාවට අම්ම බැන්නම ඔයාවත් එක්කගෙන තොරණක් පෙන්නන්න හරි අයිය යයි.අයිය වෙසක් කුඩු හැදුවට අලවන්න කම්මැලිය.පුංචි අත් දෙකෙන් ලස්සනට රටා දාල වෙසක් කුඩු ටිකත් නංගිය හදල දෙයි..කොහේ ගියත් මේ මගෙ නංගි කියල ආඩම්බරෙන් කතා කරන්න අයියට පුළුවන් වෙයි..අයිය පිස්සු නැටුවට නංගිය හොඳට ඉගෙන ගනියි.ඕන කරන හැම දෙයක්ම අයිය ඔයා ලගට ගෙනත් දෙයි.

ජීවිතේ මුහුණ දෙන්න වුනු ගොඩක් ප්‍රශ්න එක්ක මට ඔයා හිටියනම් පාළුවක් දැනෙන එකක් නෑ නංගි.අම්මට කියන්නේ නෑ කියල පොරොන්දු කරගෙන ඔයා එක්ක ඕනෙම ප්‍රශ්නයක් මට කියන්න තිබුන ඔයා එක්ක.අයිය අසරණ උන වෙලාවට අයිය වෙනුවෙන් කතා කරන්න ඔයා ඉදියි.මොන දුකක් ආවත් ඔය පුංචි අත් දෙකෙන් අල්ලාගෙන හිතේ තියන දුක කියද්දී ඔයා අහගෙන ඉඳියි..බය වෙන්න එපා අයියේ, හැම දෙයක්ම හොඳින් විසදෙයි.. ඔයා එහෙම කියයි මගෙ නංගි..

කොහොමත් අම්මගේ හෙවනැල්ල වගේ ඔයා ඉඳියි.අයිය ගෙදර නැති පාළුව අම්මට දැනෙන එකක් නෑ,දැවටී දැවටී ලගට වෙලා ඉන්න හුරතල් කෙල්ල ඉන්න නිසා.අයියේ,ගෙදර එන්න රෑ වෙනවද?මෙන්න අම්ම බය වෙලා.ඉක්මනට ගෙදර එන්න හොඳද…ඔයා එහෙම කියයි.ඒ වචනෙට පිටු පාන්න අයියට කවදාවත් බැරි වෙයි.අයියට හදිස්සියකට කීයක්‌ හරි ඕන උන වෙලාවක ඉල්ලුවොත් පොතක් අස්සෙන් හරි හොයල තියන ගානක් දෙයි.ඒත් කවදාවත් ආයේ ඒවා ඉල්ලන එකක් නෑ ඔයා.

අයියත් කාලයක් යද්දී ආදරේ කරන්න කෙනෙක් හොයාගනියි.එදාට මගෙ නංගිට ටිකක් දුක හිතෙයි.නෑ නංගි… ඔය මොන කෙල්ලටත් වඩා මං ඔයාට ආදරේ කරයි..කාලයක් යද්දී ඔයත් ජීවිතේට කාව හරි හොයාගනියි.අන්න එදාට අයිය ගොඩක් කලබල වෙයි.හොයන්න ගනියි…අර සඳරු වගේ වලි දාගන්නත් වෙයි නංගියව බේරගන්න.අම්මට අසනීපයක්‌ උන වෙලාවකට අපිට බඩගින්නේ ඉන්න වෙන එකක් නෑ.මොනවා හරි රසට හදල දෙයි.එහෙම හදන කිසිම දේක රහක් ගුනක්‌ අයිය හොයන එකක් නෑ…

කවද හරි ලස්සන මනමාලියෙක් වෙලා ඔයා අපේ ගෙදරින් යන දවසකුත් එයි..එදාට ඔයාටත් වඩා ඔයාගේ අයිය දුක් වෙයි නංගි.මනමාලය ඔයාව මෙච්චර කල් බලාගත්තට මට රත්තරන් මුද්දකුත් දෙයි එදාට.ඒ මුද්දට වඩා මට ඔයාව ගොඩක් වටිනව කියන්න මට බැරි වෙයි නංගි.

නංගිලා ඉන්න හැම අයියෙක්ම ලෝකෙට පෙන්නුවේ නැතත් මේ වගේම එයාලගේ නංගිලට ආදරෙයි.මට එහෙම ආදරේ කරන්න නංගියෙක් ලැබුනේ නෑ.දුකා අයිය, සඳරු, උඹල ගොඩක් වාසනාවන්තයි.උඹලගේ ජීවිත කවදාවත් හිස් නෑ.. ඔය ලින්ක් දෙකට ගිහින් කියවල බලන්න එයාල නංගිලා ගැන ලියල තියන ඒවා.මීට වඩා මට හිතින් ඔයා එක්ක තනි වෙන්න බෑ නංගි..දැන් මේක ලියල ඉවරයි.තව ටිකකින් ඔයා සිංහල බ්ලොග් අවකාශෙට ඉගිලෙනවා..පරිස්සමින් මගෙ නංගි….

childhood

පසුවදන :
මේ පුංචි සිතුවිල්ල මගෙ හිතට පහල වෙන්නේ මගෙ ඇස් දෙකින්ම දකින්න ලැබෙන පුංචි සිද්ධියක් මුලික කරගෙන.හැමදාම උදේට බයිසිකලෙන් වැඩට යද්දී පුංචි පැටවු දෙන්නෙක් හැමදාම මට හම්බ වෙනවා. අයියයි නංගියි.. අයිය 5 වසරේ වගේ.. චූටි නංගියනම් 3 වසරේ වගේ.දෙන්නම හැමදාම එකම වෙලාවට පාර දිගේ එනවා.නංගියාවත් අයින් කරගෙන අයිය තමයි එක්කගෙන එන්නේ.මං දැකපු විදියට මේ දෙන්නට කිලෝමීටර් 2 ක් විතර පයින් යන්න තියනවා එයාලගේ ඉස්කෝලෙට..පුංචි කෙල්ල ළඟ ළඟ අඩිය තිය තියා යද්දී අයියට වේගෙන් යන්නත් බෑ..ඉතින් හැමදාම මං ඔය දෙන්නට හෝන් එක ගහගෙන යනවා.මේ දවස් ටිකේ අපි ඉන්න පලාතට හොඳටම වැස්ස.ඉතින් ඔය පොඩි උන් දෙන්නව මට දකින්න ලැබුනේ නෑ දැන් සතියකින් විතර.ඔය ගැන හිත හිතා එද්දී තමයි මට මේ සිතුවිල්ල පහල උනේ.

පුංචි නංගියෙක් වෙනුවෙන් හැමදාමත් හීන මැවුව,
ආදරණීය තිශ්…