2011-06-07

ආදරණීය තාත්තාට……

father-and-son

තාත්තාගේ මතකය දිගේ ආපස්සට යද්දී මගෙ මතකයේ තියන පැහැදිලි මුල්ම මතකය තමයි මම තාත්ත එක්ක පෙර පාසල් ගිය හැටි.ගෙදර ඉඳල කිලෝ මීටර පහක් විතර දුර බස් යන්නේ නැති පාරක තිබුන සිඟිති පෙර පාසල.පස්සෙ කාලෙක සිඟිති මුල් ළමාවිය මධ්‍යස්ථානය විදියට නම වෙනස් වෙනවා.උදේට තාත්තගේ තිබුන කළු පාට රැලේ බයිසිකලේ ඉස්සරහින් මාව තියාගෙන ඔය මොන්ටිසෝරිය ලඟට ගිහින් අරිනවා.

උදේට යන ගමන් මග කඩේකින් මොනවා හරි අරන් දෙනවා චුටි තිශ් පැටියට කකා යන්න.ඉස්සර තිබුන තල වලින් හදපු පුංචි බෝල වගේ කෑමක්.මං හැමදාම ඕක තමයි ඉල්ලන්නේ.තාත්ත කියනව “පුතේ ඔයා කන්නේ හිමීටනේ,හිමීට කද්දී ඕක තිත්තයි" කියල.ඉතින් අඩන්න ගන්නවා බෑ මට ඕනෙමයි කියල.හැමදාම කලින්ම ඔය මොන්ටිසෝරියට යන්නෙ මං.අපේ තාත්ත තමයි මුලින්ම මාව එක්කගෙන යන්නෙ.හැබැයි හවසට අන්තිමට එන්නෙත් මං.තාත්ත එනකල් මොන්ටිසොරිය තියන ටීචගේ ගෙදර තිබුන පේර ගහ යටට වෙලා බලාගෙන හිටපු හැටි තවම මට ලාවට වගේ මතකයි.. ඒත් හැමදාමත් ඔය වගේ අපේ තාත්තට මාව එක්කන් යන්න එන්න ලැබුනේ නෑ. 

1994 එක දවසක (හරියටම කොයි කාලේද කියලවත් මට කියාගන්න බෑ, තිශ් බබා පුන්චියිනෙ) හදිස්සියේම අපේ තාත්ත අපිව තනි කරලා අපේම හොඳට විදේශ ගත වෙනවා.පස්සෙ කාලෙක අම්ම තමයි ඔය විදියට පුංචි මං අහද්දී කියන්නේ.ගමේ මාම කෙනෙකුට තිබුන කළු පාට මොරිස් මයිනර් කාර් එකක පුංචි තිශ් ජීවිතේ පලවෙනි වතාවට ප්ලේන් බලන්න යනවා.. නැරඹුම් වේදිකාවට වෙලා ඈත තියන ප්ලේන් එකක් දිහා බලාගෙන ඉද්දි එදා එයාට දැනෙන්නෙ නෑ තාත්ත එයාව දාල යන දුක..ආපහු එද්දී අම්ම ප්ලාස්ටික් බැට් එකයි බෝලෙකුයි අරන් දෙනව.දැන් ඔක්කොම අමතකයි.ඒත් ඊට පස්සෙ දවසෙ මොන්ටිසෝරි යන්න තාත්ත නෑ කියල දැනෙද්දී පුංචි තිශ් හොඳටම දුක්‌ වෙනවා.එදා ඉඳල අවුරුදු දෙකක් යනකල් තාත්ත ලංකාවට එන්නේ නෑ..ආයෙත් තාත්ත ලංකාවට එන්නේ  පුංචියට තිබුන ගේ ලොකු කරලා හදන්න. ඒ වගේම තිශ් බබාව හොඳ ඉස්කෝලෙකට දාන්න.

1994 ඉඳං තාමත් තාත්ත නැති අඩුව විඳගෙන ජීවත් වෙනවා.වරින් වර ලංකාවට ආවත් හැමදාමත් අපි ලග රැඳිල ඉන්න තාත්තට බැරි වෙනව.ඉස්සර කෝල් ගන්න විදියක් නෑ.තාත්ත හරි ආසයි අපි ලියුම් යවනවට.හැමදාම මං අම්ම ලියන ලියුම අස්සට දාල යවන්න පුංචි ලියුමක් ලියල දෙනව.තාත්ත ලග තවමත් සමහර විට ඒ ලියුම් ඇති.මට මතකයි තාම පහ වසරේදී රාජකාරි ලියුමක් ලියන්න කිව්වම මං තාත්තට රාජකාරී ලියුමක් ලියපු හැටි.තාත්තගේ යාලුවෙක් ලංකාවට එනවනම් අපිට මොනවා හරි එවනවා.චූටි කාලේ 

මං ආසම තාත්ත එවන රට ඉඳි කන්න.එහෙම එන කෙනෙක් අතේ තවත් දෙයක් අනිවාර්යෙන් එනවා.ඒ තමයි තාත්ත අපිට කතා කරන කැසට් පටියක්.අම්ම ලග තිබුන රේඩියෝ එකට බැට්රි හතරක් ගේනකල් ඉවසල ඉන්න බෑ තිශ් ට.කොහොම හරි ඕකෙ මුල් ටික අම්ම මට අහන්න දෙන්නේ නෑ.මට අනිත් පැත්තලු පුතාට.ඉතින් මට තාත්ත කතා කරන එක මං ආසාවෙන් අහගෙන ඉන්නව.අහන ප්‍රශ්න වලට තනියම උත්තර දෙනවා මට තාම මතකයි.

මගෙ ජීවිතේ ගොඩක් තැන් වලදී ළඟ නොහිටියත් මට තාත්තගෙ ආභාෂය ලැබෙන්න ඇති..මේ ලියන මොහොත වන තුරුත් ජීවිතේ කවදාවත් මත්පැන්,දුම්වැටි කිසි දෙයක් පාවිච්චි නොකර ඉන්න මට තාත්තගෙ ජීවිතයෙන් යම් කිසි බලපෑමක් තියෙන්න ඇති.

අද මේ සටහන ලියන්න විශේෂ හේතුවක් උනේ තාත්තගේ අදට යෙදී තියන 48 වෙනි ජන්ම දිනය.එදා ඉඳං අද වෙනකල් කවදාවත් මගෙ තාත්තට අපිත් එක්ක එකට ඉඳගෙන උපන්දිනේ සමරන්න ලැබුනේ නෑ.අපි හින්දම දුර රටකට වෙලා කාත් කවුරුවත් නැතුව තනියම ගෙවන ජීවිතේ මට නොදැනෙනවා නෙමෙයි.

අපි ඊළඟ උපන්දිනේනම් කොහොම හරි එකට සමරමු තාත්තෙ.මේ ඇත්තමයි කියන්නේ… පොඩ්ඩක් මුරණ්ඩු උනාට තිශ් පුතා ඔයාට ගොඩක් ආදරෙයි….!!!!

මේ සටහන මං මේ විදියට ඉවර කරන්නම්….

father-and-son-beach

පියාණනී මා නැවත උපන්නොත් අපාරවූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා…. ඔබේම පුතු වේවා………!!!!!!


තාත්තට ගොඩක් ආදරේ පුංචි කොලු පැටියා…
ආදරණීය තිශ්..

28 Comments:

රවින් said...

උඹ නම් නියම පුතෙක් බං. උඹ වගේ පුතෙක් ලබන්න උඹේ තාත්තා ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි..තාත්තාට සුබ උපන්දිනයක් වගේම දීර්ඝායුෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ලස්සනට ලියලා තියෙනවා.

හිම කුමාරි said...

නියමයි මල්ලි.. කියන්න වචන නෑ.. ඔයානං තාත්තට ලොකු ආඩම්බරයක්..
ඔයාගෙ තාත්තට සුබ උපන්දිනයකට ආසිරි..!!
තාත්තටයි පුතාටයි දෙන්නටම ජය...!!

නිම්ශා said...

තාත්තාට සුබ උපන්දියනක් පතනවා යාලු...

මගෙත් තාත්තා මම පොඩි කාලේ ඉදන්ම රට උන්නේ..ඉතින් ඔයා කියන විදිය ඔයාගේ හැගිම මටත් එ වගේම දැනෙනවා..තාත්තා කෙනෙක් ලග නැති උනාම හරි පාඩුයි..යාලුවන්ගේ තාත්තලා එද්දි ඉරිසියාත් හිතෙනවා..එත් ඉතින් ඉස්කොලේ ලමයින්ට නැති අලුත් අලුත් පාට පැන්සල් ,වොක්ලට් එහෙම ගෙද්දි ආඩම්බරෙන් කිව්ව හැකි මේ අපේ තාත්තා එව්වෙ කියලා..අපි නැතුව කන්නේ බොන්නේ නැතුව හැම සතෙම අපිට එවාලා මහන්සි වෙන තාත්තෙක් ට අපි මොනා කියන්නද තිශ්...මමත් පතනවා මගේ තත්තාත් ජාති ජාති මගේම තාත්තා වෙන්න කියලා..

කස්සා said...

බොහෝම හිතට දැනුන ලිපියක් මචන්.අපේ ජිවිතවල ගොඩක් දෙවල් අපිට ලැබිල තියෙන්නෙ දේමවුපියන්ගෙන් එක හැමදාමත් මතක තියන දරුවන්ට ජීවිතේ කවම කවදාවත් වරදින්නෙ නෑ.

නචියා said...

තාත්තට සුභ උපන්දිනයක් වේවා..!!!

තාත්තගේ ඊළග උපන්දිනේ එකට ඉදන් සමරන්න ලැබේවා..!!!

හසී said...

තාත්තාට සුබ උපන්දිනයක් වේවා....! මාවත් ගොඩක් කල් යනකම් තාත්තා තමා මොන්ටිසෝරි ඉස්කෝලේ එක්කගෙන ගියේ... :)

Helping To People said...

තාත්තාට සුබ උපන්දිනයක් වේවා....!

පියාණනී මා නැවත උපන්නොත් අපාරවූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා…. ඔබේම පුතු වේවා………!!!!!!

මාරයාගේ හෝරාව said...

අමුතුවෙන් උඹේ තාත්තට සුභ පතන්න ඕන නැහැ බං..ඔය උඹේ ලිපියේ තියෙන හැම දෙයක්ම උඹේ හිතෙත් ඒ විදියටම තියෙන දේවල්නං ඒ තාත්තට ලැබුන ලොකුම සුභ පැතුම ඒක තමයි..ආයේ අපි සුභ පැතුවට ඒ සුභ පැතුම් ඒ අහලකටවත් යන්නේ නැහැ...

මලී said...

හදට නැගෙනා..... හදින් හඩනා.....
සොදුරැ පද වැල් අමුණලා.....
ඔබ කල මේ උපහාරය
උපහාරයක්ම වේවා.....
ඔබේ පියාණන් හට....
සත්තමයි........

පූසා said...

තාත්තාට සුභ උපන්දිනයක් වේවා!

Bindi said...

හිත පතුලටම හාරාගෙන ගිය වචන ටිකක් . කඳුලක් නැතිව මට මේ වගේ ලිපි නම් කියවන්න බැහැ. තාත්තගේ කැපවීම අපතේ නොගිය එක තමයි ඔහු ලද වටිනාම තෑග්ග

මලී said...

තිශ් මන් කියෙව්වා. නියමයි තිශ් ඔයා මාරයි. අනේ දන්නේ නැ මගේ ඇස්2කේ පොඩි කදුලක් තියනවා. මන් හිතන්නේ ඒ ඔයා වෙනුවෙන් තිශ්.....

සිතුවිලි නිහඬයි said...

හ්ම්....මල්ලි මොනාද කියන්නේ...අපේ සුබපැතුම් සියයකට වඩා ඔයාගේ මේ සුබපැතුම තාත්තට මහමෙරක් වටින බව මතක තියාගන්න.....එත් තාත්තට සුබම සුබ උපන්දිනයකුත් ඊලග අවුරුද්දේ ඔයාලගේ පවුලේ හැමෝටම එකට ඉදන් උපන්දිය සමරන්න වාසනාව ලැබෙන්න කියලත් මේ අක්කා හදවතින්ම පතනවා.....

තිශ් said...

@ රවින් : මං පොඩි නිවැරදි කිරීමක් කරන්නද රවින්.තාත්ත වගේ කෙනක් ලබන්න මං ගොඩක් පිං කරලා තියනවා මචන්..ගොඩක් ස්තුතියි උඹට හැමදාමත් මොනවා හරි කුරුටු ගාල යනවට.

@ හිම කුමාරි : ගොඩක් ස්තුතියි අක්ක.ඔයාල මේ ලියන දේවල් තාත්ත දැක්කනම් කොච්චර සතුටු හිතෙයිද....

තිශ් said...

@ නිම්ශා : ඔයා කියන දේ මං ගොඩක් වින්ද නිම්ශා..ඔයා කියපු හැම වචනයක්ම මගේ ජීවිතෙත් තියනවා.ඉස්සර මං තමයි ලස්සනම බෑග් එක ඉස්කෝලෙට අරන් යන්නේ.චුටි කාලේ ලස්සන සපත්තු,බෑග්,වතුර බෝතල් ඔක්කොම තාත්ත රට ඉඳං එව්වා.ඉතින් ඕවත් අරගෙන ඉස්කෝලෙට පුංචි තිශ් යන්නේ හරි ආඩම්බරෙන්.තාත්ත කවදාවත් ලංකාවට එන්නේ මේ දවසෙයි කියල ආවේ නෑ.ඒත් ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී මං දන්නවා තාත්ත ඇවිත් කියල.මුළු ගෙදරම රට සුවඳයි (මං පුංචි කාලේ ඉඳං තාමත් ඒ සුවඳට කියන්නේ රට සුවඳ කියල)ඉතින් කොච්චර හැංගිලා හිටියත් මං අල්ලගන්නවා.ඔයා කියපු දේවල් වලින් ලියන්න අමතක උන ගොඩක් දේවල් මතක් උනා නිම්ශා....

මාරයාගේ හෝරාව said...

රට සුවඳ..හ්ම්ම්..මාත් ඒක හොඳට අඳුරනවා..

තිශ් said...

@ කස්සා : අපේ ජීවිත වලට හැම දේම ලබා දෙන්න දෙමව්පියෝ විඳින දුක කාලෙත් එක්ක දැන් අපිට ටික ටික තේරෙන්න පටන් අරන් නේද...ඉස්සර දැනුනේ නැති දේවල් දැන් දැනෙනව නේද... ගොඩක් ස්තුතියි කස්සා, ඇවිත් කියවල ඔය වචන ටික ලියල ගියාට..

@ නචී : මාත් එහෙම හිතනවා නචී....මේ අවුරුද්දේ තාත්ත එන බව දන්න නිසා ඒක මතක් වෙද්දී හිතට පුදුම සතුටක් දැනෙනව.ඊළඟ උපන් දිනේට තාත්ත අපිත් එක්ක ඉදියි නේද?

@ හසී අක්ක : ඔයාල හැමෝගෙම සුභ පැතුම් තාත්තට දැනෙයි හසී අක්ක..මතක උනාද ඔයාටත්.. පුංචි හසී තාත්තගේ අතේ එල්ලිලා වතුර බෝතලෙත් බෙල්ලේ එල්ලගෙන මොට්ටසෝරි ගිය හැටි..

@ Helping To People : බොහොමත් ස්තුතියි මිත්‍රයා....

තිශ් said...

@ මාරයියා : මේ හැම දෙයක්ම හදවතින්ම ලියපු ඇත්තම දේවල් මාරයියේ.මගේ බ්ලොග් එක කියවන අය වැඩි කරගන්න තාත්තගේ උපන්දිනේ යොදාගන්න මට කවදාවත් ඕනේ උනේ නෑ.ලියපු හැම වචනයක්ම හැම සිද්ධියක්ම මගේ ජීවිතේ ඇත්තටම උන දේවල්.ඒ සිදුවීම් එක්ක තාත්තව මගේ ලෝකේ වීරයා උනා.මොන තරම් යාළුවො මට හිටියත් උන් එක්ක එකතු වෙලා පස් වෙනි සිල් පදේ කඩ කලේ නෑ.ඒ දේ මට දුන්නේ මගේ තාත්ත.ඒ විශ්වාසේ අදටත් හෙටටත් සදහටමත් එහෙමමයි.

දෙවැනි කොමෙන්ටුවට : පුදුම සතුටුයි මාරයියේ ඔයත් මගේ මේ පුංචි බ්ලොග් එකට Follow-up දාගෙන ඉන්න එක ගැන.රට සුවඳ..... අරන් එන හැම බෑග් එකකම,ඇඳුමකම තියන්නේ එකම සුවඳක්.දවස ගානක් යනකල් ඔය සුවඳ යන්නේ නෑ.මුළු ගේම සුවඳයි..ආයේ අපි කොච්චර Air Freshner ගැහුවත් ඔය සුවඳ ගන්න බෑ..මං හරි නේද???

මාරයාගේ හෝරාව said...

හරියටම හරි මල්ලී...

තිශ් said...

@ මලී : මං ඊයේ ගොඩක් රෑ උනා මලී මේක ලියල ඉවර වෙද්දී.ඉතින් මේකට පද පේලියක් ඔයාට කියල ලියාගන්න බැරි උනා.හැමදාමත් වගේ අදත් පුංචි පද පේලි ටිකක් එකතු කරලා.ගොඩක් ලස්සනයි... ගොඩක් පිං.. කරන හැම උදව්වකටම..

@ පූසා : ගොඩක් ස්තුතියි මචන් පූසා...

@ නෙලුම් විලේ බින්දි : තාත්තගේ කැපවීම අපතේ නොගියෙ නෑ කියන්නත් බෑ බින්දී.තාත්ත හිතුවේ මං කොහොම හරි Campus යයි කියල.මට අන්න ඒ දේ තාත්තගේ කැපවීම වෙනුවෙන් කරලා පෙන්නන්න බැරි උනා.අදටත් මං ඒ ගැන දුක් වෙනවා.ජීවිත කාලෙමත් දුක් වෙයි.

තිශ් said...

@ සි නි අක්ක : අක්කගේ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉෂ්ඨ වෙයි කියල මාත් බලාගෙන ඉන්නවා...මගේ සුභ පැතුමට ඔයාලගේ සුභ පැතුම් සීයත් එකතු උනාම කොයි තරම් සුන්දර වෙලාද සිනි අක්ක.....

තිශ් said...

මේ පොස්ට් එක කියවයි කියල මං බලාගෙන හිටපු කෙනෙක් තාමත් ඇවිත් නෑ වගේ.කමක් නෑ මචං..උඹට මේක දකිද්දී මොකක් හරි මතක් වෙලා දුකක් දැනිල හිත රිදුනනම් සමාවෙයන්..මං දන්නව තාත්ත කෙනෙක් නැතුව ගෙවෙන ජීවිතේ අමාවක දවසට හඳ නැතිව හිස් උන අන්ධකාර අහසක් වගේ කියල...

සුපර් said...

මටත් මතක් උනා තාත්තා මාව මොන්ටිසෝරි එක්කගෙන ගිය හැටි. තාත්තට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා කියන්න. තාත්තාට කිසි කලක දුකක් කරදරයක් නොවේවා කියලා පාර්ථනා කරනවා. දුක් වෙන්න එපා. තාත්තා ඉක්මකටම ඔයා ලගට ඒවි. ඒ දවස එක්මනටම පැමිණෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

හිස් අහස said...

මචං තිශ් මම මේක බලලා කියන්න දෙයක් හිතමින් හිටියා ..මට කියන්න දෙයක් ඉතින් හිතාගන්න බෑ ..

තාත්තා මාව දාලා ගියේ නොහිතපු විදිහට .අනික ඒක උනේ මගේම වරදින් .අන්න ඒක මතක්වෙද්දී මට මං ගැනම තරක් ඇතිවෙන එක වලක්වාගන්න බෑ .

අවුලක් නෑ බං දැන් මම ඕව ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ ..

උඹගේ තාත්තට තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!!

තාරක Dilsh@n said...

මේක කියවද්දි මගේ ඇස් දෙකටත් කඳුලු ආව බන්...
එතනින් එහාට දෙයක් ලියන්න හිතා ගන්න අමාරුයි.

Sihina said...

ඔිනම ලමයෙක්ට තමන්ගේ තාත්තා තරමි වීරයෙක් නැහැ මචං. හැමදාම තාත්තා අපේ ලග නොහිටියත් තාත්තාට කතා කරන ටිකට අපේ හිතට දැනෙන ශක්තිය නමි කියලා වැඩක් නැහැ.

හිම හංසි said...

අය්යාගෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ අදමයි.ම්ම්.. පරක්කු වෙලා හුගක් මම සුභ පතන්න.ඒත් කමක් නෑ ඔන්න තිශ් අය්යගේ තාත්තාට සුබම සුබ උපන් දිනයක්

පවනි said...

මගෙත් ජීවිතේ සමීපම අම්මටත් වඩා තාත්ත එක්කයි....
ඒක තාත්තත් හොඳටම දැනගෙන හිටිය.
මයෙ ජීවිත කතාවත් ඕකමයි සහෝ....
එකම වෙනස රට ගියෙ අපෙ අම්ම... ඒ අවුරුදු පහකට..... ඒකත් හරියටම 1994ම තමයි....


ඔයාගෙ තාත්තට මමත් සුභ පතනව....

Post a Comment