උදේ ඉඳං බීරින් කරන් තිබුන කොළඹ අහස මහා අනෝරා වැස්සක් වෙලා කඩා වැටෙන්න ගත්ත.ඈත පේන අහස උසට නැගුන තට්ටු නිවාස පේලිය දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉන්න ඒ පුංචි සමනලිය බාගෙට වැහුන ජනේලෙන් එලියට පුංචි අත දාල වැටෙන වතුර බින්දු එකතු කරන්න අසාර්ථක උත්සාහෙක.අතට වැටෙන වතුර බිංදු සුදු මූනට විසි වෙද්දී ඒ මූනේ ඇඳෙන අහිංසක හිනාව දිහා බලාගෙන උන්න මට එයාට කරදර කරන්න හිතුනෙම නෑ.මං අද දවස ගැන, අද උදේ සිදුවීම් පෙළ කල්පනා කරන්න ගත්ත…
මගේ ලෝකෙට ආව පුංචි සුරංගනාවිය, ඔවු ඒ පුංචි ඇස් දෙක මගේම වෙලා අදට හරියටම අවුරුද්දක්.උදේ ඉඳන්ම පොද වැස්ස.. තනියම ගම්පහ ඉස්ටේෂම ඉස්සරහට තෙමීගෙන ආව මට ලා දම් පාට කුඩයක් ඉහලගෙන ඈතින් එන මගේ ඒ පුංචි කෙල්ලව අදුනගන්න ඒ හැටි අමාරු නෑ.කලින් දවසක කිව්ව වගේම මං ආසම ලා නිල් පාට මල් වැටුන ගවුමත් ඇඳගෙන කලින් දවසක DSI එකෙන් මං අරන් දුන්න ලස්සන සෙරෙප්පු දෙකත් දාගෙන මං ළඟටම ඇවිත් හිටහත්ත ඔයා…
“සුදු අයියේ… තෙමිලා නේද ඔයා… කිව්වට අහන්නේ නෑනේ කුඩයක් අරන් එන්න කියල.. ගොඩක් වෙලාද ඇවිත්..”
“ම්ම්හ්ම්… මේ දැන් ආවේ…”
බෑග් එකේ කුඩේ ගෙනාවට ඕක ඉහලන්න කම්මැලි කමට පොඩ්ඩක් තෙමුන කියල ඔයාට කිව්වොත් අද ලස්සන දවසේ උදේම ඔයාගේ හිත රිද්දන්න වෙනවා. ඒ හින්ද මං සද්ද නැතුව හිටිය..
“අදනම් මෙහෙම තෙමීගෙන සමාධිය ලඟට පයින් යන්න බෑ නේද…” ඔයා ඇහුවා…
වැස්ස මට වාසනාව ගෙනත්ද… පයින් තියා අදනම් බස් එකේවත් පංතිනම් යන්න බෑ…
“නංගි, අද අපි වෙන කොහෙ හරි යමු…මටනම් පංති යන්න බෑ..” හිතේ තිබුන අදහස මං කිව්වා… මං දන්නවා ඔයා බෑ කියන්නේ නෑ කියල..
“ම්ම්… කොහෙද අපි යන්නේ…” මගෙ ඇස් දෙකට එබුන ඔයා එහෙම ඇහුව..
හිතේ කිසිම අදහසක් තිබුනේ නෑ…
මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීග්‍රගාමී දුම්රිය තව ස්වල්ප වෙලාවකින් පළමු වේදිකාවට ලඟා වනු ඇත.
දුම්රිය ස්ථානයේ යකඩ කටින් කියවුන ඒ පණිවිඩේ එක්ක මගේ හිතට ගාලු මුවදොර සිහියට ආව.
පංති යන්න බැරුව ඉෂ්ටේශමට වෙලා හිටපු තව යාළුවො තුන් දෙනෙක් එක්ක කොළඹ කොටුව බලා යන සීග්‍රගාමී දුම්රියට ගොඩ වෙලා දැන් පැයකට කිට්ටුයි.ඔයා තවමත් ඈත බලාගෙන මොනවදෝ හිතනව.පංතියක් මග ඇරලා ගම්පහින් පිටට යන පලවෙනි වතාව.අපිත් එක්ක ආව යාළුවො තුන් දෙනාටනම් ගානක් නෑ වගේ.මං හිමීට ඒ සීතල අතින් අල්ලගත්ත.නොවැරදීම අද මට පුංචි අකුරින් ලස්සනට ලියපු ලියුමක් හම්බ වෙනවා කියල මං දන්නවා.ඔය ලියුම කියවන්න මං ගොඩක් ආසාවෙන් ඉන්නේ.හතරට නවපු හාෆ් ශීට් එකක ලියපු ඒ පුංචි ලියුම මං මගේ බෑග් එකේ දාගත්තේ නිදහසේ තනියම කියවන්න ඕනේ කියල හිතාගෙන.මට කලින් ඒ ලියුම මං වෙන කෙනෙක් කියවයි කියල ඒ මොහොතේ මට හීනෙකින්වත් හිතුනේ නෑ…………
කොටුවෙන් බැහැපු අපි කෙලින්ම ගාලු මුවදොර බලා යන්න පිටත් උනා.ටිකක් අඩු වෙලා තිබුනත් වැස්ස නැවතිලා තිබුනේ නෑ.මගේ බෑග් එකේ තිබුන කුඩේ යාළුවො තුන් දෙනාට දීල අපි දෙන්න අර ලා දම්පාට කුඩේ යටින් යන්න ගත්ත.ලේක්හවුස් එක පාරේ ඇවිත් පරණ පාර්ලිමේන්තුව ඉස්සරහින් පාර පැනල ගාලු මුවදොරට සේන්දු වෙද්දීම පොද වැස්ස මහා වරුසාවක් වෙලා කඩාගෙන වැටුන.පුංචි කුඩේ අපි දෙන්නට ඉඩ මදි..ඉක්මනට හෙවනක් හොයාගන්න වෙයි..මුහුදට මුහුණලා තිබුන කන්ටේනර් පෙට්ටියක් අයිනට ගිය අපි දෙන්න ඈත දියඹෙන් තද සුළඟත් එක්ක එන වැහි පොදට මුවා උනා.ඒ පුංචි ඇස් දෙක දිහා බලාගෙන විනාඩියක් ඉන්න ඇති………..
ෆී………..
තද කොළ පාට වැහි කබායකින් සැරසුන පොලිස් නිලධාරියෙක් ඈත මුර පොලේ ඉඳං අපි දෙන්නට කතා කළා.හිමින් හිමින් අපි දෙන්න ඒ පැත්තට ගියා.පොලිස් මුර පොලක් කිව්වට කන්ටේනර් පෙට්ටියක් ඇතුලේ මේසයක්, පුටුවක් තියල තාවකාලිකව හදපු තැනක්.මුහුදු හුළඟට දිරපු නිසාද කොහෙද බාගෙට වැහුන ජනේලෙන් එන කිරි කිරි සද්දේ විතරක් මට ඇහෙන්න වුනා.මගෙ පුංචි සුරන්ගනාවිගේ ඇස් දෙකේම කඳුලු පිරිලා..
“තමුසෙලා කොහෙද? , මෙහෙ ගන්නවල දෙන්නගෙම බෑග්.. මං බලාගෙන හිටියේ දැන් ටිකක් වෙලා ඉඳං..කෝ අයිඩින්ටි…ගන්නව ගන්නවා.”
ඒ වෙද්දී මං මගේ හැදුනුම්පත හදාගෙන තිබුනත් මගේ පුංචි නංගියට එහෙම එකක් තිබුනේ නෑ.මේ 2006 අවුරුද්ද.මට යන්තං අවුරුදු 17 උනා විතරයි.මට වඩා මාස 9 ක් ම බාල උන නංගිට අවුරුදු 16 යි.මේක අහපු පොලිස් නිලධාරී තුමාට හොඳටම තරහ ගියා.අතේ තිබුන කුඩා ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් ඔහු කාට හෝ ඇමතුවා.
“කොටුව ජංගම පොලිස් රථය අමතන්න.. දෙන්නෙක් ඉන්නවා හැකි ඉක්මනින් මුරපොළ වෙත වාර්තා කරන්න.ඕවර්”
මං දැන් තමුසෙලා දෙන්නව පොලිසියට යවනවා.ගෙවල් වලට කෝල් කරලා අම්මල තාත්තල ගෙන්වල භාර දෙයි හරිද.කෝ තමුසෙලා එක්ක ආව අනිත් උන් ටික.එක්ක එනවා උන්වත් තමුසේ ගිහින්.”
මං දිහාවට හැරුන ඔහු ගෝරනාඩු කළා.මොන තත්වයක් උනත් ඒ පාලු මුරපොල ඇතුලේ මගේ පුංචි සමනලීව තනි කරලා යන්න මට බෑ.ඕනෑ දෙයක් කියපු දෙන්.මං යන්නේ නෑ සුදු නංගිව තනියම මෙතන තියල.මං අර සීතල අතින් ආයෙමත් අල්ලගත්ත.යන්නේ නෑ කියල පෙන්නන්න..
“හ්ම්ම්… තමුසෙට යන්න බෑ නේද… එහෙනම් තමා.. යනවා.. ගිහින් උන් ටික එක්ක එනවා.”
කවදාවත් කොළඹට තනියම පය නොගහපු ඒ පුංචි හිත ගැස්සෙන්න ඇති.ඒත් වෙන විකල්පයක් තිබුනේ නෑ.ජීවිතේ කවදාවත් නැති තරමට මාව අසරණ උනා.කමක් නෑ.ඔයා මෙතන තනියම තියල යනවට වඩා ඔයා ගිහින් ඒ අයව එක්ක එන එක හොඳයි නංගි.. මං හිතන්න උනා..
මගේ පුංචි කුමාරි හෙමින් හෙමින් යන්න ගියා… මහා හයියෙන් වැටුන වැස්සත් එක්ක පුංචි කුඩේ නොපෙනී ගියා….
ඔයා ආපහු එනකල් ඇස් දෙක රිදෙනකල් ඒ ජනේලෙන් ඈත බලාගෙන හිටපු ආදරණීය තිශ් …
පසුවදන : මට ඉතාමත් සංවේදී උන මේ කතාව එක පාරටම ලියල ඉවර කරන්න මට හිත දෙන්නේ නෑ.පුංචි පුංචි දේවල් මග ඇරෙයි කියල මට බයයි.ඒ හින්ද මගේ යාළුවො තරහ නැතුව මට තව එක දවසක් දෙන්න.මං කතාවේ ඉතුරු ටික ලියනවා…. විශේෂයෙන්ම මං ආදරෙන් ඉල්ලන්නේ මාව පෞද්ගලිකව දන්න මේ බ්ලොග් එක කියවන අයගෙන්… ජීවිතේ ලස්සන කාලයක් ගැන ලිව්වට මේ හැම දෙයක්ම හැම කෙනෙක්ම දන්නේ නෑ.විශේෂයෙන් එයා… ඒ හින්ද සිංහල බ්ලොග් අවකාශේ තියන සුන්දරත්වය,ඒ තියන බැඳීම,විශ්වාසය පලුදු වෙන කිසිම දෙයක් කරන්න එපා.කාට හරි හිතෙනවනම් මූ පිස්සෙක්,ආදරයක් මාකට් කරන්න හදනවා කියල කරුණාකරල ආයේ මං ලියන අකුරක්වත් කියවන්න එපා.. දුකයි තමයි මෙහෙම කියන්න.ඒත් මට වෙන කරන්න දෙයක් නෑ.
විශේෂ ස්තුතියක් කරන්න ඕනේ ජනේලයෙන් එහා ලියන කිඩෝ මලයට වෝකි ටෝකි එකට කියන සිංහල නම හොයා දුන්නට. ඒ වගේම දාන්න නමක් හිතාගන්න බැරුව අසරණ වෙලා ඉද්දි උදව්වට ආව හසීගේ සිතුවිලි ලියන අපේ හසී අක්කට.