2011-01-12

සොඳුරු හමුවීම..

ටික දවසකට පස්සේ තමයි මට මේ විදියට ආයෙත් ඔයාලට ලියන්න ලැබෙන්නේ.පහු ගිය දවස් ටිකේ තිබුන රාජකාරි වැඩත් එක්ක මේ කිසිම දෙකට හිත යොදවන්න නිදහස් වෙලාවක් ලැබුනේ නෑ.ඉතින් මගෙ යාළුවන්ට මාව අමතක වෙලාද දන්නෙත් නෑ.කොහොම හරි අවිවේකී සතියක් ගෙවිල ඉවරයි.ඒක දිහා ආයෙත් හැරිලා බලන්න මං කැමති නෑ...

දිග කතාවක් ලියන්නත් අද මගෙ හිතක් නෑ.ඒත් දිනෙන් දින කල දාපු එක කතාවක් ඔයාල එක්ක බෙදාගන්න මං කැමතියි.සුන්දර සිහින බ්ලොග් එක නිර්මාණය වෙන්නේ මගෙ ජිවිතේ ගෙවුන එක්තරා සුන්දර කාලයක් සිංහල වෙබ් අවකාශයේ දිග හරින්න බලාපොරොත්තුවෙන්..ඒ සුන්දර කාලය වඩාත් සුන්දර උනේ එක්තරා ලෙන්ගතු චරිතයක් නිසා.ඒ ගැන මං දැනට Post දෙකකදී විතර ඔයාලට ඉඟි කරලා තියනවා.

ඉතිං.....කොහෙන්ද මං පටන් ගන්නේ..මෙහෙම කියන්නම්කො..

මාස දෙකක් විතර මං අර මුලදී කිව්ව පංතියට යද්දී අපි අතරින්ම යෝජනාවක් ආව.හැමදාම ඉන්න විදිය ටිකක් වෙනස් කරලා පිරිමි ළමයි පන්තියේ ඉස්සරහටත්,ගැහැණු ළමයි පන්තියේ පසුපසටත් යමු කියල.මට තවම මතකයි ඔය යෝජනාව ආව හැටි.මෙන්න මෙහෙමයි.

”ගරු විපක්ෂ සහෝදරවරුණි,අප පන්තියේ ස්ථාන මාරුවක් කිරීමට ඔබලාගේ කැමැත්ත විමසා සිටිමු,මෙයට පක්ෂයේ සහෝදරියන්.”

අනේ ඉතිං ඕකත් ආවේ මගෙ අතට.මාත් Reply එක යැව්වා අපේ හිටපු වල්සියයි,ලොකු අයියයි,සුමුදුවයි එක්ක.(තව කට්ටිය හිටියා, දැනට මට නම් මතක් වෙන්නේ ඔය තුන් දෙනාගේ විතරයි).මොකද ඔය තුන් දෙනා තමයි ඔය පන්තියේදී මාත් එක්කම හිටපු හොඳම යාළුවො.සුමුදු ගියේ කොළඹ ප්‍රසිද්ධ බෞද්ධ පිරිමි පාසලට.ලොකු අයිය ඒ වෙනකොට ගියේ සෙන්ට් ජෝපෝල්ස් කොලීජියට.එතකොට මායි ඔය වල්සියයි දෙන්නම ගියේ අපේ ගම්පහ ප්‍රසිද්ධ පිරිමි පාසලට තමයි.ඉතිං අපේ සෑරුත් එක පයින්ම කැමති උනා මේ යෝජනාවට.මමත් ඉතිං ගියා ඉදිරියට.හැබැයි පැත්තෙන් තිබුන බැංකුවකට.

ඔන්න ඔතනදි තමයි පිටිපස්සේ පෝලිමක බැංකුවක කෙරවලට වෙලා ඉඳගෙන අහිංසකව ඉස්සරහ බලාගෙන උන්නු ඒ සුන්දර ඇස් දෙක මට මුණ ගැහෙන්නේ.මාස දෙකක් පංතියට ගියත් දැකල තිබුනේ නැති අලුත් රූපයක්.දෙපාරක් හොරෙන් බලන්න ගිහින් අහු උනා.ඔන්න ඉතිං දැන් ටිකක් මීටර් වගේ.යාලුවත් ඉන්නව එයා ළඟ.දෙන්නම ටිකක් එක වගේ.ඔය දෙපාරක් අහු උනා කියන එක මං දැනගද්දී ගොඩක් කල් ගිහින්.ඉතිං ඔය විදියට හොරෙන් බල බල කොහොම හරි පන්තියත් ඉවර උනා.මං ඉතිං හිතාගෙන උන්නේ එයා දැක්කේ නෑ කියල.පස්සේ කාලෙකදී තමයි මං දැනගන්නේ මේ සේරම සෙල්ලම් ටික යාළුවො දෙන්න බලාගෙන ඉඳල තියන්නේ කියල.ඉතිං ඒ වෙනකොට අපි 10 වසරෙනේ.එච්චරටම උණක් තිබුනේ නෑ.ඒත් මට ලොකු උවමනාවක් තිබුන මොකද්ද මේ ළමයාගේ නම කියන එක දැනගන්න.අහන්න විදියකුත් නෑ.

ආ....මට එවෙලේ තමයි මතක් උනේ අර කිව්ව ඇන්ටිය Class එක පටන් ගන්න කලින් නම් ලකුණු කරනවා නේද කියල.(ඔව් ඔව්,අර හරක් දෙන්නගේ අයිතිකාරයා තමයි,බබාලා ගොඩක් හිටියේ)දෙන්නම් වැඩේ කියල හිතාගෙන ඊළඟ සතියේ ගියා Class එකට කලින්ම.ඔන්න ඉතිං ඇන්ටි නම ලකුණු කරනවා.නම් මතක නෑ.මේවා එක්සාම්පල් හොඳේ..නයනා...ආ ඉන්නවා නේද,චමරි...ආ මේ ඇවිත් ඉන්නේ..ඈන්...ආ දුවේ......

හපොයි මගෙ නුවනට උන දේ.කොහෙද ඉතිං,මේ ඇන්ටියට කොල්ලන්ගේ නම් විතරයි මතක නැත්තේ.ගෑනු ළමයි සෙට් එක දිහා බලාගෙන එයා තනියම නම් ලකුණු කරනවා.අයියෝ අසරණ *** මල්ලී.දැන් ඉතිං කාට කියන්නද.ඒ බලාපොරොත්තුවත් සුන්.

ඊළඟ සතියේ සුපුරුදු විදියට අපි ස්ථානගත උනා.දැන් ඉතිං මං දන්නවනේ කොතනද අර කිව්ව ළමය ඉන්නේ කියල.ඔන්න ඉතිං එදා තමයි අපේ ලොකු අයියට(ලොකු අයිය කිව්වේ අපි එයට දාල තිබුන නම හරිද) මගේ පැහැදිලි වෙනසක් පෙනිලා අහනවා මචන් මොකද්ද ප්‍රශ්නේ කියලා.අනේ ඉතිං මාත් ඔය දුක්ගන්නරාලට මගේ හිතේ තිබුන ප්‍රශ්නේ කිව්ව.කෝ බං කව්ද..අර ඉන්නේ බං බිත්තිය අයිනේ.ආ...මේ අපේ අම්මගේ හොදම යාලුවෙක්ගෙ දුවනේ බං.නම..... (මං කවදාවත් ඒ නම මේ බ්ලොග් එකේ ලියන්නේ නෑ.මං වගේ පිස්සෙක් හින්ද ඒ අහිංසක ඇස් දෙකේ කඳුලක් දකින්න මං ආස නෑ.ඒ හින්ද මං හැමදාමත් ආදරෙන් කතා කරපු ආදරණිය සුදු නංගි කියල කියන්නම්..)දැන් ඉතිං හරි..උප්පැන්න සහතිකේ ගත්ත වගේ තමයි.

ඉතිං ඔහොම කාලය ගෙවිල යනවා..හැමදාමත් පංතියට එනවා..පිස්සු නටනවා..සුදු නංගි දිහා හොරෙන් බලන් ඉන්නවා... ගෙදර යනවා..ඔය විදියට මට මතක විදියට අවුරුද්දක් විතර ගෙවිල යනවා.මගේ යාළුවො විශ්වාස කරනවද...ආදරයක් හිතේ තිබුනට මට ඒක ඒ ඇස් දෙක ලග කියාගන්න බැරි උනා.මං උත්සාහ කලෙත් නෑ.ඔය වෙද්දී 2005 අවුරුද්ද...ඒ වෙනකොට මං ගොඩක් දේවල් හොයාගෙන ඉවරයි..

යන්තං කතාවේ මුල් ටික ගලපගත්තා.දැන් ඉතිං දිගටම ලියන්න තමයි තියන්නේ.ලියනවනම් එදා ඉඳල මේ මොහොත වෙනකල් ලියන්න දේවල් තියනවා.ඒ හැම දෙයක්ම මං පුළුවන් තරම් ඔයාල එක්ක බෙදාගන්නම්.මට සමහර තැන් මතක් කරගන්න මගේ Diary එක ගොඩක් උදව් කරයි ඉස්සරහට.මොකද මම 2004 දී Diary එකක් පාවිච්චි කලේ නෑ.2005  ඒ ලස්සන අවුරුද්දේදී තමයි මං ජිවිතේ පලවෙනි වතාවට Diary එකක් මුල ඉදන් ලියන්න ගන්නේ.එදා ඉඳල අද වෙනකල් ඒ පුරුද්ද මගේ ළඟ තියනවා..
ඉතිං, අදටත් කතාව කල් දාන්න වෙනවා..ගොඩක් ලියන්න ගලපගන්න අමාරුයි.මොකද හිත කැමති උනාට ඇස් දෙක බර බරේ දානව.තවත් සුන්දර දේවල් ගොඩක් තියනවා.ටිකින් ටික මං කියන්නම්.එතෙක් මට සමුගන්න අවසරයි..

ඔබ වෙනුවෙන් තවමත් හීන මවන මම,
ආදරණීය තිශ්.

2011-01-08

ජීවිතය සිහිනයක් නොවන්නට

අද හවස මං මුණුපොතේ යාලුවෙක් එක්ක සංවාදයක් දාගෙන ඉද්දි මතු උන දෙයක් ගැන තමයි මං අද ලියන්න හිතන් ඉන්නේ.ඇත්තටම කියනවනම් මීට කලින් කිසිම දවසක මට මේ දේ හිතුනේ නෑ.
අපේ ජීවිතෙන් තුනෙන් එකක් දැන් ගෙවිල ඉවරයි නේද?දැන් මට වයස අවුරුදු විසි දෙකයි.මේ අවුරුදු විසි දෙකට අපි කරපු දේවල් මොනවද?
මං ටිකක් මහන්සි වෙලා හොයාගත්ත තොරතුරු ටිකක් මේ..

අපි කව්රුත් පාවිච්චි කරන දුරකථනය ගැන ඇලෙක්සෙන්ඩර් ග්‍රැහැම් බෙල් මහත්තය 1865 දී මූලික පරීක්ෂණ කරද්දී එයාගේ වයස අවුරුදු 18 යි.




1958 දී Robert Heft ඇමරිකාවේ ජාතික ධජය නිර්මාණය කරනවා.ඒ වෙනකොට එයාගේ වයස අවුරුදු 17 යි.




Mark Zuckerberg 2004 දී Facebook වෙබ් අඩවිය ලෝකෙට හඳුන්වල දෙනවා.ඒ වෙනකොට ඔහු අවුරුදු 20 ක විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්..




1824  දී Louis Braille විසින් ලෝකෙට බ්‍රේල් අක්ෂර ක්‍රමය හඳුන්වා දෙනවා.ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 15 යි.







ඉතින් මේ වගේ දේවල් දැක්කම අපිට හිතන්න කොච්චර දේවල් ඉතුරු වෙනවද? ඇයි අපිට බැරි..අපේ ජීවිතෙන් තව ඉතුරු වෙලා තියන්නේ 2/3 ක වගේ කාලයක් නේද?ඒකෙනුත් අන්තිම අවුරුදු 20 ගැන අපිට අමතක කරන්න වෙනවා නේද?එතකොට මේ ලෝකෙට දෙයක් කරන්න අපිට තව ඉතුරු වෙලා තියන්නේ අවුරුදු 20 ක් වගේ පොඩි කාලයක් නේද? ඉතින් මගේ යාලුවනේ මේ ලෝකේ දියුණු කලෙත් අපි වගේම මිනිස්සු නේද?


ඔය චාල්ස් ඩාවින් මහත්තය කියල තියනවා මේ වගේ කියමනක්. A man who dares to waste one hour of time has  not discovered the value of life. ජීවිතේ අපිට ලැබිල තියන කාලය ගොඩක් වැදගත්.ඒ ජීවිත කාලයෙන් පැයක් අපතේ යවන්න කැමති කෙනෙක් කවදාවත් ජීවිතේ වටිනාකම තේරුම් ගන්නේ නෑ.ඒ කියන්නේ ජීවිතේ වටිනාකම දන්න මනුස්සයට අර පැය උනත් ගොඩක් වටිනවා.මතක තියාගන්න අපිට ලැබිල තියන්නේ පුංචි කාලයයි.හැබැයි මේ පුංචි කාලයෙන් අපි ගොඩක් දේවල් කරන්න ඕනේ..මට පහු ගිය දිනක ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ බලමණ්ඩලයේ නායකත්ව පුහුණු කඳවුරකට සම්භන්ධ වෙන්න අවස්ථාව ලැබුන.ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න, දැනගන්න, විඳගන්න එහිදී මට අවස්ථාව ලැබුනා.එකේදී මං ඉගෙන ගත්ත දෙයක් තමයි අපි හැම කෙනෙක් තුලම හොද නායකයෙන් ඉන්නවා කියන එක.ඕනෑම තැනකදී නායකත්වය ගන්න, බය නැතුව ඕනෑම දෙකට මුහුණ දෙන්න පුළුවන් චරිතයක් අපි තුලත් ඉන්නවා.අපි එක අඳුනගන්න ඕනේ.දෙයක් ලෝකෙට අලුතෙන් දෙද්දී මුළු ලෝකෙම අපිට හිනා වෙන්න පුළුවන්.ඒ ඕනෑම දෙකට මුහුණ දෙන්න ශක්තියක් හොද නායකයෙක් ලග තියෙන්න ඕනේ.මතක තියාගන්න, ගැලිලියෝ ගැලීලි ලෝකේ සුර්යා වටා චක්‍රාකාරව ගමන කරනවා කිව්වම ලෝකෙම ඔහුට හිනා උනා.ඒත් ඒක අහන අපි දැන් හිනා වෙනවා කව්ද එදා ගැලීලියෝට හිනා උන මෝඩ මිනිස්සු ටික කියල.ලෝකේ එහෙමයි මගෙ යාලුවනේ.අපි දෙයක් හරි කිව්වොත් ඒක වැරදියි කියන්න දාහක් දෙනා බලාගෙන ඉන්නවා.මෙතැනදී මගෙ Blog එකේ නමට පටහැනි දෙයක් මේ post එකට එකතු කරන්න වෙනවා.හැමදාමත් හීන මවල හරියන්නේ නෑ.ඒ හීන සැබෑ කරගන්න,බලාපොරොත්තු ඉටු කරගන්න කැප වෙලා වැඩ කරන්න ඕනේ.මේ ලෝකේ දියුණු උනේ එහෙම වැඩ කරපු මිනිස්සු නිසා.එකෙක් උඩට නගිනකොට ඌව කකුලෙන් බිමට අදින ජාතියේ උන් තමයි ගොඩක් මේ ලෝකේ ඉන්නේ.එහෙම උන්ට ඒ කකුලෙන්ම දෙකක් ඇනල අපිට උඩට යන්න පුළුවන්නම් ඒක තමයි වෙන්න ඕනේ.එතකොටයි අපිට හම්බවෙලා තියන මේ වැදගත් මනුස්ස ජීවිතයෙන් ලෝකෙට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ.

හැමදාමත් හීන දකින්න එපා..හැබැයි හීන මවන්න..හීන හැබෑ කරගන්න බය නැතුව වැඩ කරන්න.

2011-01-06

ආවර්ජනා.....

අපි එදා කොතනින්ද නැවැත්තුවේ..........නෑ නෑ..විසිකරපු ගල ආපහු එන කතාව නෙමෙයි.මදැයි ශාස්ත්‍රීයලිපියක් ලියන්න ගිහින් මං අහගත්තුව.ඔයඅපේ J.R.සහෝදරයා තමයි වැඩිපුරම මේකට වගකියන්න ඕනේ.හරි,කොහොම උනත් ආයෙත් මං ශාස්ත්‍රීය ලිපි ලියන්නේ නෑ කියල හිතාගත්ත.මොකද ඔය පැංචා මට දවසක් කිව්වා මෙහෙම කතාවක්. ‘‘මචන්,මේ ලෝකේ මිනිස්සුන්ට පුළුවන් දේවලුත් තියනවා,බැරි දේවලුත් තියනවා...’’ඕක ඉතින් මට ඊයේ මතක් උනේ නෑ නොවැ.මොනවා කරන්නද..

එදා ඉතින් මං අර ඉංග්‍රීසි සාහිත්‍ය පන්තිය ඉවර වෙලා ගෙදර ගියා කියල කිව්වා නේද?ගෙදර යන එකත් ලේසි වැඩක් නෙමේ අප්පා ඒ දවස් වල.මහා රෑ 8.00 ට කොහෙන්ද දෙයියනේ අපේ ගාලු පාරේ බස්.කෝ බලන්න අපේ 268 මිනුවන්ගොඩ-බඩල්ගම ධාවන මාර්ගයේ ගමන් ගත් අය ඉන්නවනම් අත උස්සන්න..ආ... මේ ඉන්නේ මගේ හොඳ බ්ලොග් රසිකාවියක්.මිසිස්‌ ජපන් ජබර.(JJBR)..කොහොමද අපේ පාර..බස් එක යන මධ්‍යක වේගය පැයට කිලෝමීතර 18 යි නේද?.(18 km/h) හී හී..මාලයි නේද..සමහර වෙලාවට බක්කි කරත්ත,බර කරත්ත වගේ ඒවා අපිව ඉස්සර කරගෙන යනවා.මං හරි නේද මිසිස්‌ ජපන් ජබර්.ඉතින් රෑ 6.00 න් පස්සේ ඔය ජාතියෙවත් බස් එකක් හොයාගන්න නෑ ඉස්සර.ඉතින් 8.00 ට Classඑක ඉවර වෙලා බලාගෙන ඉන්නවා.ඉන්නවා..ඉන්නවා...මොන..බස් එකක් තියා Double Decker එකක්වත් නෑ.ඔය කාලේ මට පුෂ් බයිතිකලයක්වත් නැති කාලේ.ඉතින් පාර පුරා ගෙදර වගේ කියල හිතාගෙන ගෙදර යන්නේ පැයකට විතර පස්සේ.පොඩ්ඩක් ඉන්න බලන්න මං මුලින්ම ඔය කට්ට කාපු දවස හොයල බලනකල්..............

හරි හරි යාලුවනේ..පොත් ගොඩ පෙරලලා හොයාගත්ත.කොහොමත් මං ඔය පොත් ටික ආයෙත් හොයාගන්න තමයි උන්නේ.මං මුලින්ම ඔය Class එකට හිගින් තියන්නේ 2004-02-18 බදාදා දවසක්.වැඩේ හරියන්නේ නෑ වගේ.මේක ලියන එක පැත්තක තියල මෙන්න මේ යකා Notes කියවනවා.අනේ මන්ද ඉතින්..කියන්නනම් කොච්චර දේවල් තියනවද..ඔය Class එක තියන තැන අයිති උනේ Aunty කෙනෙකුට.අම්මෝ...එයාට බබාල ගොඩාක් ඉන්නවා..හී හී..ඇත්තමයි..බොරුනම් දහම්ගෙන් අහන්න.ඉතින් එයා එනවා හැමදාම Class එක පටන් ගන්න කලින් නම ලකුණු කරන්න,සල්ලි අරගන්න.ඒ Class එකේ ඔය Card මාර්ක් කරන දේ තිබුනේ නෑ.ඉතින් එය ඇවිත් හැමෝගෙම නම හයියෙන් කියවනවා.ඔය වැඩේ ඉතින් අපිට හෙන ආතල්.. හී හී...ඉතින් කොහොම හරි කාලයත් එක්ක පන්තියේ වැඩියෙන්ම කියවෙන නම් අතරට මගේ නමත් එකතු උනා.ඉතින් ඊට පස්සේ සෑර් කිව්වා *** පුතා ඔයා මේ පන්තියේ මොනිටර් වෙන්න කියල.අනේ ඉතින් පිස්සු නට නට හිටපු මේ අසරණයව මොනිටර් පට්ටමකට හිර කරා ඕං..දුක තමයි..පන්තියේ හුණු කුරක් ඉවර උනත් ඉතින් දුවන්න ඕනේ ඒක අරන් එන්න.පන්තිය පටං ගන්න කලින් ලයිට් සෙට් කරන්නත් ඕනේ.අම්මෝ මොනිටෝර්ට තිබුන වැඩ ගොඩ.ඔහොම කාලේ ගෙවිල ගියා ඉතින්.

සුන්දර දේවල් ගොඩක් තිබුන ඔය අතරේ.සමහර දවස වලට ලයිට් යනවා.කියන්න ඕනේ නෑනේ ලයිට් ගියාම අපි කරන ඒවා.මුලින්ම හොල්මන් සද්දේ දානවා.එතකොට ඉස්සරහ පේලියේ ගෑනු ළමයි බය වෙනවා.ඊට පස්සේ කාගේ ලග හරි තියන ජංගමයකින් ලයිට් එක පත්තු කරලා එහෙට මෙහෙට වනනවා.ඔන්න ඉතින් ඊළගට අර ඇන්ටිය ඉටිපන්දම් ටිකකුත් උස්සගෙන දුවගෙන එනවා.ලමායි...මේවා පත්තු කරගන්න..ඔන්න ඉතින් සෑර් මුලින්ම එකක් පත්තු කරල පන්තිය වටේ යවනවා..අපි කරන්නේ අපිට හම්බ වෙන ඉටිපන්දම මොන ගේමක් හරි දීල නිමාගන්න එක.ඕකට ඉතින් මහා ලොකු ගේම් දෙන්න ඕනේ නෑනේ.එක පාරක් ෆු ෆු.. කියල පිම්බම ඉවරයිනේ..ඇයි දන්නවද,එතකොට ඉස්සරහ පේලියේ හිටපු ගෑනු ළමයි තුන් දෙනාගෙන් ඉටිපන්දම ඉල්ලගන්න පුළුවන්නේ.ඒ ගෑනු ළමයි තුන් දෙනා ගැන මං ඉස්සරහට ලියනවා.එතකල් මේ කියන ටික අහගෙන ඉන්නකෝ හරිද....


ආ.... තව දෙයක් අමතක උනා කියන්න..ඔය පන්තිය ලග තමයි අර ඇන්ටිගේ හරක් දෙන්නව බඳින්නේ.නෑ නෑ.... ළමයි දෙන්න නෙමෙයි......කකුල් හතරේ ඇත්තම වහු නාම්බෝ දෙන්නෙක්.ඉතින් මුන් සැරින් සැරේට එක එක සද්ද දානවා..උම්බෑ.....කියනවා.වමාරා කනවා..විකා ගිලිනවා..හී හී..හරක්නේ ඉතින්.

ඔය අස්සේ කාගේ හරි සෙරෙප්පු දෙකක් එහෙම කකුලෙන් ගැලවිලා තිබුනොත් සොරිම තමයි.කෙලින්ම සෙරෙප්පු කුට්ටම ගිහින් නවතින්නේ අර ගොන් වස්සාගේ කකුල් දෙක යට.මං දන්නේ නෑනේ ඔය සීන් එක.(මුලදී)අනේ ඉතින් ගොදුරු උනා.පස්සේ සේ මාත් ඇරියේ නෑ.ඔය පන්තියේ කොල්ලෙක්ගේ ගොනා ලගට ගියේ නැති සෙරෙප්පු දෙකක් තිබුනනං ඒ අපේ සෑර්ගේ සෙරෙප්පු දෙක තමයි.හී හී..

ඉතින් ඔන්න ඔහොම කාලේ ගෙවිල ගියා මාස දෙකක් විතර...ඔය අතරේදී තමයි මං අර මුලදී කියපු ලෙන්ගතු චරිතය මගේ ඇස් දෙකට මුණ ගැහෙන්නේ.ඒකත් ලස්සන කතාවක්.ඒ කතාව මං හෙටට කියන්න ඉතුරු කරගන්නම්.මගේ යාළුවො තරහ වෙන්නේ නෑ නේද?අදවත් ටිකක් කලින් සයනාරූඩ වෙන්න ඕනේ ලස්සන හීනයක්වත් දකින්න..
එතෙක් මට මගේ හදවතට පුංචි විවේකයක් දෙන්න..

හැමදාමත් ඔයාගැන හීන මවන මම

මාතෘකාවක් නොමැත - No Title

උ*ත ගැන කතා දැන් නවත්තන්න කියල මට ඉහලින්,පහලින් සහ මැදින් යන හතර පැත්තෙන්ම මුලික දැනුම්දීම් ඇවිත් තියන්නේ.ඉතින් අදින් පස්සේ මං ඒ කතා සීරීස් එක නවත්තනවා.මොකද, Hospital Admit කරපු උ*තගේ මස්සිනා මහත්තය තව දවසකින් දෙකකින් මෙහාට පාත් වෙන්න තියන සම්භාවිතාව වැඩියි.ඒ ආවොත් වැඩේ කරදරයි.හරිනේ එහෙනම්...

ම්ම්...අපි කොහෙන්ද අන්තිමට නැවැත්තුවේ...කතාව මැද්දේ ඇඩ්වටීස්මොන්ට් දාන්න ගිහින් ඔක්කොම අමතක උනානේ.

මගේ යාළුවනේ..මං මේ සුන්දර සිහින පිටුව පටන් ගන්න හේතු උන ඒ ලෙන්ගතු චරිතය (ඔයාලට තවමත් එයාව අදුන්නලා දෙන්න බෑ,මොකද මේ කතාවේ තව ඉස්සරහදි තමයි එයා මේ කතාවට සම්බන්ධ වෙන්නේ) මාත් එක්ක දැන් ගොඩක් වෙලා Google සංවාදයක් දාගෙන හිටිය.කාලෙකට පස්සේ මාව මතක්‌ වෙලා.ඉතින් එයත් එක්ක කතා කරද්දී මට තව අමතක වෙලා තිබුන ගොඩක් දේවල් මතක් උනා.ඉතින් ඒ දේවල් මගේ ඉදිරි අවශ්‍යතා සඳහා මගේ දින පොතේ ලියා තැබුවා..
හරි, දැන් ඒක ඉවරනේ..ඒත් තව ඒක දෙයක් මට කියන්න දෙන්න.අද කව්රු හරි මගේ මුනුපොතේ යාලුවෙක් මාව Photo එකකට Tag කරලා තිබුන.මාත් මුලදී නොසලකා හැරියත් පස්සේ ආයෙත් බලද්දී මොකද්දෝ මහා ලොකු තේරුමක් ඒ Photo එකෙන් මට පේන්න ගත්ත.ඔයාලත් ඒක බලල ඉන්න.

  
නැවත නොඑන දේවල් හතරක්.

1.    විසිකළ ගලක්
හිතල බලන්න.මේක කොයිතරම් සාධාරණද කියල.විසිකළ ගලක් ආයෙත් කවදාවත් ආපහු එන්නේ නෑ නේද? එතකොට උඩ බලාගෙන ගහපු ගලකට මේක කොයිතරම් දුරකට ගැලපෙනවද? ඒකත් සාපේක්ෂයි නේද?අපි අපේ ජීවිතෙන් සමහර දේවල් ආයේ ඕනෙම නෑ කියල අයින් කරලා දානවා.එට්‌ බැරි වෙලාවත් ඒ දේවල් අයෙත් අපි ලඟට අවොත් කලින්ටත් වඩා ලොකු කරදරේකට අපිට මුහුණ දෙන්න වෙනවා නේද?ටිකක් හිතල බලන්න.
2.    පැවසූ වදන්
අපි කාට හරි වචනෙකින් දුකක් දුන්නොත් අපිට එයාගෙන් කෙලින්ම ආයෙත් සමාව ගන්න පුළුවන් කියල අපිට හිතෙන්න පුළුවන්.සමහර විට එයා සමාව දෙන්නත් පුළුවන්.ඒත් ඒ අපි කියපු දේ අර මනුස්සයාගේ හිතේ තියනවා නේද.අපිට ඒක එයාගේ හිතින් මකන්න බෑ නේද?.සමහර දේට ඔබ එකඟ වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්.අනේ එහෙම වෙලාවට තරහ නැතුව කෙලින්ම මචන් මෙතන වැරදි නේද කියල මට Comment එකක් දාන්න.ඒක මට ලොකු ශක්තියක්‌.
3.    ගිලිහුණු අවස්ථා
මේකටනම් මට එකඟ වෙන්න ටිකක් අමාරුයි.මොකද අපේ ජීවිතේදී අපිට ඕනෑම දේකට ඒක අවස්ථාවක් විතරක් නෙමෙයි ලැබෙන්නේ.මේකත් සාපේක්ෂයි.එකඟ වෙන්නත් අමාරු නිසා මං වැඩිය ඒ ගැන සඳහන් නොකර ඉන්නම්.කව්රු හරි මේ ගැන ගොඩක් තර්ක කරනවානම් Comment එකක් විදියට ඒ දේ පල කරන්න.
4.    ගෙවීගිය කාලය
මේක තමයි මම දැකපු වැදගත්ම දේ.මෙන්න මේ දේ හින්ද තමයි මං මේ Post එක ලියන්නේ.අපිට කවදාවත් මේ දේ අයෙ ගන්න බෑ බෑ බෑම තමයි.එක සහතික ඇත්ත මගේ යාළුවනේ.හිතලම බලන්න, අපිට සුන්දර අතීතයක් තිබුනනම් ඒ කාලෙට ආයෙත් යන්න අපි කොයිතරම්නම් ආසද.අපි කොයිතරම්නම් හීන මවනවද ඒ කාලේ ගැන.විශේෂයෙන් මේ සටහන ලියන මට ඒ ගෙවිල ගිය කාලය ගොඩක් වැදගත්.මොකද මගේ හිත දන්නවා ආයේ කවදාවත් ජීවිතේ ඒ කාලේ මට හමු වෙන්නේ නෑ කියල.ඒ මොන දේ උනත් අපි හිතින් හිතන්නේ ඒ කාලේ ගැන නේද?ගෙවිල ගිය කාලයක් ගැන සුන්දර මතකයක් මටත් නොතිබුනානම් කවදාවත් මේ වගේ සුන්දර සිහින කියල Blog එකක් මගේ අතින් හරි තව කාගේ අතින් හරි ලියවෙයිද..සිහින කියන්නේ අනාගතයත්,අතීතයත් යා කරන පුංචි පාලමකට නේද?යාළුවනේ මං කවියෙක් නෙමෙයි.සමහර දේ වැරදි වෙන්න පුළුවන්.මොකද මම O/L හොඳට පාස් උනා කියල ඒක ඔලුවට අරන් A/L Science කරන්න ගිහින් හොදටම ඇදගෙන නාගත්තු, භාගෙට නාල ඉද්දි බාල්දියත් ලිඳට වට්ටපු පොරක්.ඉතින් ඒ කාලේ ආයේ එන්නේ නෑම තමයි.

ඉතින් ඔන්න ඔය ටික තමයි මට කියන්න ඕන උනේ.කොහොම හරි අදත් මං ඔයාල බලාගෙන ඉන්න ඒ සුන්දර කතාවේ තවත් කොටසක් චායාරූපයක් නිසා නහස්ති කළා.කමක් නෑ නේද.මං හැමදාමත් මේ වගේ ලියනවනේ.මං නවත්තන්නේ මට ලියාගන්න බැරි තරම් අසනීපයක්‌ හැදුන දවසක තමයි.හෙට ලියන්නේ න කියල මං අද කිව්වොත් හෙට ලියන්නේ නෑම තමයි.හැබැයි මං පැය 24 ක විවේකයක් ඔයාලගෙන් ඉල්ලුවොත් ඊලග දවසේ ලියනවාම තමයි.එහෙනම් සැමට වාසනාවන්ත සුභ රාත්‍රියක්.!!(ආ..දැන් වෙලාව රෑ 12.00 යි.)

එහෙනම් මං පැය 24 ක පුංචි විවේකයක් ගන්නම්.


හීන මවන මම



2011-01-05

අද එතැන් සිට....

අද එතැන් සිට කියල Post එකට නම දැම්මට ගොඩක් දිග කතාවක් ලියන්න වෙන එකක් නෑ මගේ යාළුවනේ.ඇයි දන්නවද.දැනටමත් වෙලාව රෑ එකොළහයි.අද Office එකෙන් එනකොටත් දහයත් පහු වෙලා මයෙ හිතේ.උදේ ඉඳං වැඩ ගොඩක් තිබුන.ඒ අස්සේ අද අපේ Attendance Sheet එක බෙදුවා.ඔන්න ඉතින් මේ පාරනම් යන්තම් ඕල් ටයිං(Over Time,ශුද්ධ සිංහලෙන්නම් OT) ටිකක් කොරල තියනවා.ඇති යාන්තම්.උදේ හෙන කික් එකේ ගිහින් අද රෑට ලියන පොස්ට් එකට කටු සටහනකුත් ගැහුවා හීනෙන් වගේ මතකයි.ඒත්ගෙදර එන වෙලාවට ඕව මතක වෙන්නේ නෑ.අද කොහොම හරි දවසේ කතාව අපේ උදිත අයියට උන දෙයක්.මෙහෙමයි කතාව.

ඔය උදිතය ඊයේ රෑද කොහෙද ආයෙත් පාරක් මාම කෙනෙක් වෙලා.ඉතින් මෑන්ස් අද පාන්දරම කුකුලටත් වැඳගෙන රාගම මහ ඉස්පිරිතාලෙට  ගිහින් තියනවා මස්සිනා අයියත් එක්ක.ඉතින් කොහොම හරි ගියා කියමුකෝ.ඔය ඉස්පිරිතාලෙට මන්නම් මතක ඇති කාලෙක ගිහින් නෑ.හැබැයි ගියොත් ආපහු එන්න පාර හොයාගන්න අමාරුයි කියල තමයි අපේ චින්ති අයිය කිව්වේ.ඉතින් අපේ උදිතයටත් වෙලා තියන්නේ ඔය සංතෑසියම තමයි ඕං.ඉතින් ඊට පස්සේ මෙයා වටේ කරකෙද්දී Trainee Nurse ල සෙට් එකක් යනවල කොරිඩෝ එක දිගේ.අපේ කතානායකත් පහු කරන ගිය සෙට් එක දිහා ඔලුවවත් උස්සල බැලුවේ නෑලු ඕං.ඉතින් ටිකකින් මෙයට ඇහෙනවලු ශ්....ශ්...සූ සූ.. සද්දයක්.බැලින්නම් අර ගිය පොඩි Nurse පැටව් ටික අපේ උදිත මල්ලිට සද්දේ දාල.ඉතින් අපේ අසරණ උදිතව වෙව්ලනවලු.දැන් ලගට ඇවිත් වට කරගනි...දැන් එයි කියල.මොනවා උනත් අපේ උදිත කියන්නේ ලැජ්ජා බය ඇතිව හැදුන කොල්ලනේ.බයටම මෙයාට හීනෙන් වගේ පාර පෙනිලා තියනවා ඒ අස්සේ.නැත්තං ලොවෙත් නෑ..ලොවි ගහෙත් නෑ..ගාල්ලෙත් නෑ..ගාලු පොලෙත් නෑ වගේ තමයි.කොහොමද ඔය සෙට් එකට උදිතව පාලු...අඳුරු..කොරිඩෝ එකක් මුල්ලකදී හම්බ උනානම්..අම්මෝ...හෙට උදේ පත්තරේ News එක තියෙයි අපුරුවට.ඔන්න බලාගන්න දැන් කාලේ හැදෙන කෙල්ලන්ගේ හැටි.මේක අපේ රක්ෂ්මියයි, සිතූ අක්කයි බැලුවොත් මට ඉන්න වෙන එකක් නෑ.රක්ශ්මිය, රාක්ෂ මිය වෙයි.සිතූ අක්ක නොසිතූ වෙලාවක මට ප්‍රහාරය එල්ල කරයි.අනේ ඉතින් කොහොම හරි ඔය කරදර ඔක්කොගෙන්ම බේරිලා අපේ උදිත මල්ලි උදේ 8.00 වෙද්දී Office එකටත් ඇවිත් හිටිය ඕං..

ඉතින් අපි සේරම එකතු වෙලා අදින් ඇරඹුණු උදිතගේ අලුත් මාම ජීවිතේට සුබපතමු..මාමේ බාල සමාගමෝ..!!

කොහොම හරි සුන්දර සිහින මගේ Blog පිටුව තේමාවෙන් ඔබ්බට යනවා වගේ කියල ඔයාලට හිතෙයි.අනේ ඉතින් දැන්මම එහෙම හිතන්න එපා.මොකද අද ගොඩක් නිදිමත හින්ද මං මගේ කතාව ලිව්වේ නැත්තේ.දැන් වෙලාවත් 12.30 යි.මගේ යාළුවො සේරම දැන් ලස්සන හීන දකිනවත් ඇති.ඉතින් තවත් හීන ගැන මොකට කතාද.එකයි හෙට ටිකක් හිනා වෙන්න පුළුවන් කතාවක් ලිව්වේ.
මටත් දැන් ඇහෙනවා හීන මට කතා කරනවා වගේ.ඉතින් අදවත් ටිකක් කලින් ගෙදර ඇවිත් අර ඊයේ නවත්තපු තැනින් පටන් අරන් ලියන්න බලාපොරොත්තුවෙන් මං පැය 24 ක පුංචි විවේකයක් ගන්නම්.

හීන මවන මම